0

දශකයකට ආසන්න Iranga.lk සම්ප්‍රදානය

Iranga.lk – “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය වෙබ් අවකාශයට මුදාහැර මෙම වසර වන විට, දශකයකට ආසන්න කාලයක් එනම් වසර 9 ක් සම්පූර්ණ වේ. සිංහල භාෂාවෙන් රචිත ප්‍රමිතිගත ශාස්ත්‍රීය ලිපි අන්තර්ජාලයේ සුලභ නොවූ යුගයක Iranga.net වෙබ් ලිපිනය යටතේ 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා පළමු ලිපිය අන්තර්ජාලයට මුදාහරිමින් “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ඇරඹුණි. ඉන් වසර 5 කට පසුව, එනම් 2020 වසරේදී ශ්‍රී ලාංකේය නිල වෙබ් අඩවියක් ලෙස .lk යටතේ ලියාපදිංචි වීමට අවසර හිමිවීමත් සමඟ Iranga.lk වෙබ් ලිපිනය යටතේ මේ වන විට ක්‍රියාත්මක මෙම වෙබ් අඩවිය තුළ 2015 වසරේ සිට මේ දක්වා ශාස්ත්‍රීය ලිපි, විචාර ඇතුළු විවිධ වර්ගවල ලිපි 200 කට ආසන්න සංඛ්‍යාවක් පළකර ඇති අතර ඒ අතරින් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, මානව සම්පත් කළමනාකරණය, මහජන සම්බන්ධතා ආදී විෂයික මාතෘකා යටතේ පළකර ඇති ලිපි සඳහා දෛනිකව ඉහළ ග්‍රාහක පිවිසීම් සංඛ්‍යාවක් දක්නට ලැබේ.

Iranga.lk වෙබ් අඩවිය අන්තර්ජාල අවකාශයට මුදාහැරෙන්නේ බ්ලොග්කරණයෙන් ලද පන්නරය හා උත්තේජනය සමඟිනි. පාසල් අවධියේ සිටම අන්තර්ජාලයට දැක්වූ අතිමහත් උනන්දුව හේතුවෙන් බ්ලොග් අවකාශයේ විවිධ ලිපි පළකිරීම හා ඒවාට ලද ප්‍රතිචාර මෙන්ම වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ සතුවූ දැනුම Iranga.lk වෙබ් අඩවිය ආරම්භ කර පවත්වාගෙන යාමට මා පොළඹවනු ලැබීය. එතැන් සිට දශකයකට ආසන්න කාලයක් ගතව ඇති මේ මොහොතේ බ්ලොග්කරණයට ශ්‍රී ලාංකේය සමාජයේ පවත්නා උනන්දුව හීන වී, එකී අවශ්‍යතාව සමාජ මාධ්‍ය මඟින් මුළුමනින්ම අත්පත් කරගෙන ඇති නමුත් සිංහල භාෂාවෙන් රචිත ප්‍රමිතිගත ශාස්ත්‍රීය ලිපි සඳහා අන්තර්ජාලයේ පවත්නා අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව Iranga.lk වෙබ් අඩවියට දෛනිකව පිවිසෙන පරිශීලකයින් සංඛ්‍යාව නිරීක්ෂණය කිරීමේදී වඩාත් පැහැදිලි වේ.

බ්ලොග් අවකාශයක් යනු අපගේ සමකාලීන චින්තනයේ සහ විඥානයේ කැඩපතකි. සමකාලීන අත්දැකීම්, දුක, සතුට වැනි හැඟීම් ප්‍රකාශන මාදිලියක් ලෙස මෙන්ම ඉන් ඔබ්බට ගිය ශාස්ත්‍රීය දැනුම් ගබඩාවක් ලෙස ද බ්ලොග් අවකාශයේ භාවිතය සහ පැවැත්ම වැදගත් වේ. මෙකී විවිධ පරාස ඔස්සේ ගතවූ දශකයකට ආසන්න කාලය මුළුල්ලේ Iranga.lk වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය අන්තර්ජාල ශාස්ත්‍රීය අවකාශයේ නිහඬ සේවයක් ඉටුකර ඇති බව ඒ පිළිබඳ ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රත්‍යක්ෂ වේ. විවිධ ශාස්ත්‍රීය කෘති තුළ ආශ්‍රිත මූලාශ්‍රයක් ලෙස මෙම වෙබ් අඩවියේ ලිපි පරිශීලනය කර තිබීම ගතවූ දශකයකට ආසන්න කාලයේ Iranga.lk ඔස්සේ මා උපයාගත් එකම වත්කම වේ.

වෙබ් අඩවි සඳහා ග්‍රාහක පිවීසීම් නිරීක්ෂණය කෙරෙන www.histats.com වෙබ් අඩවිය තුළ Iranga.lk වෙබ් අඩවිය ලියාපදිංචි කළ 2017 වසරේ සිට මේ දක්වා මෙම වෙබ් අඩවියට පැමිණ ඇති මුළු ග්‍රාහක සංඛ්‍යාව 108,252 කි (සමස්ත වාර්තාව: https://bit.ly/3Q7k3fI). ඔවුන් විසින් වෙබ් අඩවියේ පිටු කියවා ඇති සංඛ්‍යාව 187,192 ක් වේ. “ව්‍යාපාරයක සාර්ථකත්වයට වැදගත් වන මානව සම්පත් කළමනාකරණය” නමැති ශාස්ත්‍රීය ලිපිය මේ වන විට වැඩිම පිරිසක් කියවා ඇති ලිපිය වන අතර එය කියවා ඇති වාර සංඛ්‍යාව 27,700 ඉක්මවා තිබේ. ඊට අමතරව “ගෝලීයකරණය හමුවේ ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්‍රවණතා” (කියවීම්: 12,207), “සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය” (කියවීම්: 11,221), “ලාංකේය රුපවාහිනී වැඩසටහන් වර්ගීකරණයේ සුවිශේෂතා පිළිබඳ විමසුමක්” (කියවීම්: 8008), “ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්” (කියවීම්: 5581), “මාක්ස්වාදයෙන් නිරූපිත පංචවිධ ආර්ථික සැකැස්ම පිළිබඳ විමසුමක්” (කියවීම්: 5092) යන ශාස්ත්‍රීය ලිපි සඳහා ද ඉහළ ග්‍රාහක පිවිසීම් සංඛ්‍යාවක් දක්නට ලැබේ. මීට අමතරව තවත් බොහෝ ශාස්ත්‍රීය ලිපි සඳහා ද දෛනිකව වැඩි ග්‍රාහක පිවිසීම් සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර ශාස්ත්‍රීය ලිපිවලට අමතරව “දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක්” නමින් ලියූ ලිපියට ද ග්‍රාහක ප්‍රතිචාර වැඩි සංඛ්‍යාවක් හිමිවූ අතර එම ලිපිය මේ වන විට කියවා වාර සංඛ්‍යාව 10,457 කි.

මෙසේ දශකයකට ආසන්න Iranga.lk සම්ප්‍රදානය මගින් උපාධි පාඨමාලා ඇතුළු විවිධ ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා යම් බලපෑමක් කිරීමට හැකිවී ඇති බව සඳහන් කළ හැකිය. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව වෙළෙඳ දැන්වීම් පළ නොකරමින් හුදු ශාස්ත්‍රීය අරමුණින් පමණක් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම ආරම්භයේ සිටම මෙහි දැක්ම විය. එකී දැක්ම ඔස්සේ සිංහල භාෂාවෙන් රචිත ප්‍රමිතිගත ශාස්ත්‍රීය ලිපි සඳහා අන්තර්ජාල අවකාශයක් නමැති මෙහෙවර සාක්ෂාත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියටත් Iranga.lk වෙබ් අඩවිය කැපවන බව අවසාන වශයෙන් සඳහන් කර සිටිමු.

 78 total views,  1 views today

Comments

comments