0

ආචාරධර්ම, යුක්ත්‍යාත්මවාදය සහ සංඛ්‍යාංක මාධ්‍ය ආචාරධර්ම

ආචාරධර්ම පිළිබඳ සංකල්පීය ප්‍රවේශය

ආචාරධර්ම මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම විවිධ ස්වරූපයෙන් සාකච්ඡාවට බඳුන් වූ විෂය ක්ෂේත්‍රයක් වශයෙන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මානවයාගේ සමාජ ජීවිතය සංවිධිත ස්වරූපයෙන් පවත්වාගෙන යාම සඳහා මෙන්ම පවුල නමැති කුඩාම සමාජ ඒකකයේ සිට පුද්ගලයින් අතර යහපත් සම්බන්ධතා ගොඩනැඟීමට හා ඒවා පවත්වාගෙන යාමට ආචාරධර්ම ඔස්සේ ප්‍රබල දායකත්වයක් සපයනු ලැබේ.

ආචාරධර්මවල යන පදයේ මූලික අර්ථය තුළ යහපත, සදාචාරය හා යුක්තිය වැනි අදහස් ගැබ්ව පවතී. මෙහි ඉංග්‍රීසි වචනය වන  “Ethics” යන වචනය ග්‍රීක භාෂාවේ  “Ethike” යන වචනයෙන් ගොඩනැඟී තිබේ. මෙය සැපත අරමුණු කර ගනු ලැබූවක් වෙයි (විමලධම්ම හිමි, 2010). පුද්ගල චර්යාවට බලපෑම් කළ හැකි හෝ එය පාලනය කළ හැකි සදාචාරාත්මක මූලධර්මයක් ලෙස ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය තුළ ආචාරධර්ම විග්‍රහ කරයි (Oxford Dictionary, 2019). කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව ආචාරධර්ම යනු සදාචාරාත්මකව නිවැරදි සහ වැරදි වන්නේ මොනවාද යන්න හෝ එය පිළිබඳ විශ්වාස පද්ධතියකි (Cambridge Dictionary, 2019).

ආචාරධර්ම හා සමීප සබඳතාවක් දක්වන විවිධ අංශ

ආචාරධර්ම අංශ ගණනාවක් සමඟ සමීප සබඳතාවක් දක්වයි. එනම් මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිට මානව චර්යාව හැඩගැස්වීමේ මූලික සිද්ධාන්ත ලෙස ක්‍රියාත්මක වූ මෙම ආචාරධර්ම මෙසේ විවිධ අංශ ඔස්සේ විකාශනය වීම ආචාරධර්ම නමැති විෂයෙහි පවත්නා වැදගත්කම සහ අවශ්‍යතාව පිළිඹිබු කරන සාධකයක් වේ. ඒ අනුව පහත අංශ ඔස්සේ ආචාරධර්ම සමාජයක පදනම බවට පත්වී ඇති අයුරු වඩාත් පැහැදිලි වේ.

ආගම සහ ආචාරධර්ම

ආචාරධර්ම සම්භවය වීමට පදනම සැපයීමේ සිට ආගම සහ ආචාරධර්ම අතර ප්‍රබල මෙන්ම සමීප සම්බන්ධතාවක් පවතී. මිනිසාගේ හැසිරීම සමාජය තුළ යහපත් ලෙස ගොඩනැගීමේ මූලික ආකෘතිය ආගම් විසින් සකස් කරනු ලබයි. එනම් ආගම්වල ප්‍රායෝගික භාවිත ආචාරධර්මාත්මක හරයකින් ඉදිරිපත් කර ඇත. ආගම තුළින් පුද්ගලයා මෙහෙයවන ඉලක්කය සඳහා ආචාරධර්ම විසින් ලබාදෙන දායකත්වය අතිශයින් වැදගත්ය. නිදසුන් වශයෙන් බෞද්ධ ආගමේ අවසන් ඵලය ලෙස දැක්වෙන නිර්වාණය ලබාගත හැක්කේ ඊට අනුකූල ආචාරධර්ම පිළිපැද ඒ අනුව කටයුතු කිරීම මඟිනි. ක්‍රිස්තියානි ආගම ඇතුළු අනෙකුත් ආගම් තුළ ද ඒ ඒ ආගම්වල ඉගැන්වෙන අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ආගම අනුකූලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ද ආචාරධර්ම ඔස්සේ මාර්ගෝපදේශ සැපයේ. මේ අනුව ආගම්වලට ආචාරධර්මවලින් ප්‍රබල රැකවරණයක් හිමිවන බව ප්‍රකාශ කළ හැකිය.

ප්‍රාථමික මානව සමාජය නියාමනය වූ එක් ප්‍රධාන සාධකයක් වූයේ ආගමික පසුබිමක් යටතේ ගොඩනැඟුණු මිථ්‍යා විශ්වාසයන්ය. මෙම මිථ්‍යා විශ්වාස සමාජය තුළ බිහිවීමේ පදනම වන්නේ ආගමක් ඇදහීමේ අවශ්‍යතාව ජනිත වීම වේ. මෙසේ ආගමක අවශ්‍යතාව ඇතිවීමට බලපෑ මූලික කරුණු දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකිය. ඒවා නම් ප්‍රාථමික සමාජයේ මිනිසාට අවබෝධ කර ගැනීමට නොහැකි ප්‍රපංච අර්ථදක්වා ගැනීම සහ මරණයෙන් පසු ජීවිතය පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමය. එබැවින් මෙම අවස්ථා ද්විත්වය සමඟ ආචාරධර්ම නමැති සංකල්පීය අවබෝධය තුළ ශිෂ්ට මානව සමාජ ක්‍රියාකාරිත්වයකට පදනම ගොඩනැඟුණු බව පෙන්වා දිය හැකිය (Bellah, 2011).

මෙම සාධක ද්විත්වයට අදාළව සහ එම කරුණු ද්විත්වයේ අවශ්‍යතාව පූරණය කරගැනීම සඳහා ගොඩනඟා ගත් ආගම්වලට අදාළව ප්‍රාථමික සමාජ ව්‍යුහය තුළ ආචාරධර්මවල මූලාම්භය ඇතිවේ. පහත රූප සටහන ඔස්සේ (ඉරංග, 2016) මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිවේ.

ඉහත මූලික කරුණු ද්විත්වය සම්බන්ධයෙන් ප්‍රාථමික මානව සමාජයේ පැවති අදහස යහපත සහ අයහපත පදනම් කර ගත් ආචාරධර්මාත්මක පදනමක් ඔස්සේ විකාශනය වන බව දක්නට ලැබේ. සූර්යයා, චන්ද්‍රයා, අකුණු, සුළඟ, ගිනිකඳු, දැවැන්ත ශාක, පර්වත, සුවිසල් ගංගා, මහ මුහුද සහ ගින්දර වැනි ස්වභාවික වස්තු ප්‍රාථමික මානවයාගේ දේවත්වයට බඳුන් වූ ස්වභාවික වස්තු විය. මෙම වස්තු සම්බන්ධයෙන් විද්‍යාත්මක චින්තනයක් ගොඩනැඟී නොතිබුණු මෙම අවධියේ මෙම වස්තූන්ට සිය දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් පවරා ඒවාට යම් කිසි බලපෑමක් මෙම ස්වභාවික ප්‍රපංච මඟින් ඇති කරන බව මොවුහු විශ්වාස කළහ. ඒ අනුව දෛනික ක්‍රියාකාරකම්වල වෙනස්වීම් සිදුවූ විට එය දේවත්වයෙන් ඇදහූ බලවේගයක බලපෑමක් විසින් සිදුවූවක් ලෙසට ඔවුහු අවබෝධ කර ගත්හ. මෙම තත්ත්වය තුළ මෙම ස්වභාවික ප්‍රපංච වෙනුවෙන් විවිධ පුදපූජා පවත්වන්නට විය. ඒ අනුව යහපත් කටයුතු තුළින් මෙම බලවේගවල යහපත් ප්‍රතිචාරත් අයහපත් කටයුතු තුළින් මෙම බලවේගවල අයහපත් ප්‍රතිචාරත් පෙරළා ලැබෙන බව ප්‍රාථමික මානව සමාජය තුළ ප්‍රථමයෙන්ම ආචාරධර්ම පිළිබඳ අදහස ජනිත වීමට හේතුවූ කරුණු ලෙස පෙන්වා දිය හැකිය.

ප්‍රාථමික මානව සමාජයට ආගමක අවශ්‍යතාව ඉස්මතු කළ දෙවැනි කරුණ වන මරණයෙන් පසු ජීවිතය පිළිබඳ අදහසක් ලබා ගැනීම තුළ ද ප්‍රාථමික මානවයාගේ ආචාරධර්ම පිළිබඳ අදහස ගැබ්වී පවතී. එනම් මෙම ස්වභාවික ප්‍රපංච මූලික කරගෙන ගොඩනඟා ගනු ලැබූ සමකාලීන ආගමික සංකල්ප අනුව ඒවායේ හර පද්ධතියට අනුකූල පුද්ගලයින් මරණින් පසු යහපත් ස්ථානවලත් හර පද්ධතියට අනනුකූල පුද්ගලයින් මරණින් පසු අයහපත් ස්ථානවලත් උපත ලබන බව විශ්වාසය විය. එම නිසා යහපත සහ අයහපත මත පදනම් වූ ආචාරධර්මාත්මක හැසිරීමක් මෙම ආගමික විශ්වාස මත පදනම් වී ප්‍රාථමික මානව සමාජය තුළ ගොඩනැඟුණු බව සඳහන් කළ හැකිය. ආචාරධර්ම මානව සමාජය තුළ සම්භවය වීමේ මෙම ප්‍රාථමික අවස්ථා පසුකාලීනව විවිධ ආගම්, ශිෂ්ටාචාර, සමාජ සහ දර්ශනවාද තුළ ගැඹුරු විවරණ ඔස්සේ ඉදිරිපත් වේ (ඉරංග, 2016).

කෙසේ වුවත් ඇතැම් ආගම්වල ඉගැන්වෙන කරුණු වර්තමානයේ ඇතැම් සමාජවල ආචාරධර්ම සමඟ ගැටීමක් ඇතිවන අවස්ථාද පවතින් බව අධ්‍යයනය කළ හැකිය. එනම් ආගම් ගොඩනැගෙන්නේ සමකාලීන සමාජවල පවතින විවිධ අවශ්‍යතා සහ ඒ ඒ අවධිවල සදාචාරාත්මක රීති වැනි සාධක පදනම් කරගනිමිනි. කාලය ගතවීමත් සමඟ සමාජයේ චින්ත රටා, අවශ්‍යතා, ආර්ථික සාධක යනාදිය වෙනස්වීම්වලට බඳුන්වීමත් සමඟ ආගම සම්භවය වූ අවධියේ පැවති ආචාරධර්ම ලෙස පිළිගැනීමට ලක්වූ ඇතැම් චර්යාවන් ඉන් සියවස් ගණනාවකට පසුවත් එලෙසින් ආචාරධර්ම ලෙස පිළිගැනීමට ලක්නොවීම තුළ ආචාරධර්ම සහ ආගමික චර්යා අතර ඝට්ටන ඇතිවේ. මේ සඳහා නිදසුනක් ලෙස පැරණි ග්‍රීක සමාජය තුළ පළිගැනීම සද්ගුණයක් වශයෙන් ව්‍යවහාර වීම පෙන්වාදිය හැකිය. එහෙත් කාලානුරූපව එය යහපත් ක්‍රියාවක් නොවන බව ඔවුහු අවබෝධ කර ගත්හ. හින්දු ආගමේ ඉගැන්වෙන සති පූජාව නමැති චර්යාව පැරණි හින්දු ආගමිකයෝ පිළිගනිති. එහෙත් වර්තමානයේ එය  සදාචාර විරෝධි කටයුත්තක් ලෙස පිළිගැනේ. මේ අනුව සැලකීමේදී ආගම්වල ඉගැන්වෙන චර්යා කාලානුරූපව යාවත්කාලීන වීම ආගම සහ ආචාරධර්ම අතර සිදුවන ඝට්ටනය වැළැක්වීමට උපකාර වන බව සඳහන් කළ හැකිවේ.

විවිධ ආගමික පසුබිම් තුළ ආචාරධර්ම විග්‍රහ වන අන්දම තවදුරටත් මෙසේ අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ආචාරධර්ම පිළිබඳ පැරණිතම ලිඛිත සාක්ෂි හිබෲ බයිබලය තුළින් හමුවන බව පෙන්වාදිය හැකිය. මෙය ක්‍රිස්තු පූර්ව 1200 – 100 කාලයට අයත් වේ. මෙම ලේඛනය සදාචාරාත්මක සන්දර්භයක් තුළ ජනතාවගේ ඉතිහාසය ඉදිරිපත් කර තිබේ. ක්‍රිස්තු පූර්ව 400 ත් 100 ත් අතර කාලයේ බිහිවන හින්දු දර්ශනය තුළ ආචාරධර්ම හඳුන්වා ඇත්තේ මෝක්ෂ යන නමිනි. නැවත නැවත ඉපදීම නමැති චක්‍රයෙන් විමුක්තිය ලැබීම ලෙස ද එය අර්ථ දැක්වේ. හින්දු දර්ශනයේ ආචාරධර්ම පිළිබඳ  කේන්ද්‍රීය ලේඛනය වන්නේ භගවත් ගීතාවයි.

ක්‍රිස්තු පූර්ව 800 ත් 200 ත් අතර කාලයේ චීනයේ සම්භවය වූ තාවෝ වාදය තුළ ප්‍රකාශ වන ආකාරයට සදාචාරාත්මක නීති පැනවීම මඟින් ගැටලුවල සැබෑ මූලයන් සොයා ගැනීමට නොහැක. සදාචාරාත්මක නීති මඟින් සිදුවන්නේ සමාජ ව්‍යාධිවල තත්ත්වය උග්‍රඅතට පත්කිරීමයි. ජීවිතය ස්වභාවධර්මයට අනුකූලව සරලව සහ ස්වයංසිද්ධව සිදුවිය යුතු දෙයක් බව ද තාවෝවාදීන් දක්වයි. ක්‍රිස්තු පූර්ව 500 අවධියේ දී කොන්ෆියුස්තුමා විසින් ගොඩනගනු ලැබූ අදහස් කොන්ෆියුස්වාදය ලෙස හඳුන්වනු ලබයි. පාලකයින්ගේ සදාචාරාත්මක පරිහානිය තුළින් ආණ්ඩු අස්ථාවරත්වය ගොඩනැගෙන බව මෙහිදී පැහැදිලි කෙරේ.

            බෞද්ධ ධර්මය ද ප්‍රබල ආචාරධර්මාත්මක සිද්ධාන්ත මත පදනම්ව ගොඩනැගී ඇත. මෙහි ඉගැන්වීම් මඟින් පුද්ගල ජීවිතයේ සියලු කටයුතු ආචාරධර්මානුකූල පදනමක් මත මෙහෙයවනු ලබයි. පුද්ගලික ජීවිතය, පවුල් සබඳතා, රාජ්‍ය පාලනය හා ආර්ථික කටයුතු ඇතුළු සමස්තය ඊට අයත්ය. නිදසුනක් ලෙස දක්වන්නේ නම් චක්‍රවර්තී සිහනාද සූත්‍රයේ දක්වන පරිදි මිනිසාගේ මුල්ම නීති සංග්‍රහයේ ප්‍රඥප්ති 5 ක් තිබුණි. එනම්,

(i).        ප්‍රාණීන් නොනැසිය යුතුය.

(ii).       නුදුන් දෙය නොගත යුතුය.

(iii).      කාමයේ වරදවා නොහැසිරිය යුතුය.

(iv).      බොරු නොකිය යුතුය.

(v).       මත්පැන් අත්හළ යුතුය.

මෙම සියලු ප්‍රඥප්තිවල අරමුණ වන්නේ සාමය පවත්වාගෙන යාම වේ. එසේම පංචශීලය ලෙස බෞද්ධයින් ආරක්ෂා කරන මෙම මූලධර්ම තුළ ද බෞද්ධ ආගමික චර්යාව ආචාරධර්මවල අධිභාවිතය මත ගොඩනැගී ඇති බව පැහැදිලි වේ. තව ද බෞද්ධ ධර්මයේ ඉගැන්වෙන සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන අංග සතර මෙන්ම මෛත්‍රී වැනි භාවනා ක්‍රමවේද ආදී සියල්ල ආචාරධර්ම කේන්ද්‍රීයව ජන මනස මෙහෙයවීම පිණිස සකස් වී ඇත.

නීතිය සහ ආචාරධර්ම

ආචාරධර්ම විෂය සම්බන්ධතාවක් දක්වන තවත් පුමුඛ අංශයක් වන්නේ නීති ක්ෂේත්‍රයයි. නීති ලෙස ස්ථාපිත වන්නේ සමාජයක් තුළ පුද්ගලයෙකු විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණුය. නීතිය මගින් ස්ථාපිත වන කරුණු ආචාරධර්මාත්මකව සමාජය තුළ ආරක්ෂා විය යුතු අංශ වේ. පාලක පක්ෂය විසින් ක්‍රියාවට නංවන නීති ආචාරධර්මාත්මක පදනමක් මත පිහිටා පනවනු ලැබේ. නීති නියෝජනය කරන්නේ පොදු සමාජයේ මතය වේ. එය සමස්ත සමාජය නිසි මඟට මෙහෙයවීමේ මඟපෙන්වන්නා වේ. ඒ අනුව නීති අත්‍යන්තයෙන්ම ආචාරධර්මාත්මක පදනමක් මත වැදගත් වේ.

නීතිය සහ ආචාරධර්ම අතර පවත්නා සම්බන්ධතාවයේ ස්වරූප පිළිබඳ මූලික අංශ ත්‍රිත්වයක් ඔස්සේ අවධානය යොමුකළ හැකිය. එනම්,

(i).  ආචාරධර්ම නීති බවට පත්වී ඇති අවස්ථා

(ii).   ආචාරධර්ම වන නමුත් නීති බවට පත්නොවූ අවස්ථා

(iii).  ආචාරධර්ම සහ නීති කඩකළ විට හිමිවන දඬුවම්වල ස්වරූපය

පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ අවස්ථාව ආචාරධර්ම නීති බවට පත්වී ඇති අවස්ථාවකට නිදසුනක් වශයෙන් ගෙන සාකච්ඡා කළ හැකිය. එම ක්‍රියාව ආචාරධර්ම උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන අතර නීතියෙන් ද වරදක් වේ. එහෙත් ලාංකේය සමාජය තුළ විවාහක තැනැත්තෙකු බිරිඳ නොවන කාන්තාවක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම ආචාරධර්මවලට අනුකූල නොවන ක්‍රියාවක් ලෙස සැලකුණ ද එය නීතියෙන් වැරදි ක්‍රියාවක් නොවේ. නීතියෙන් වරදක් වන්නේ බහු විවාහය හෙවත් වලංගු එක් විවාහයක් පවතින විට තවත් විවාහයක් සිදුකර ගැනීමයි. මේ අනුව සැලකීමේදී සෑම ආචාරධර්මයක්ම නිතීයක් බවට පත්නොවන බව පැවසිය හැකිය.

ඒ අනුව නීති සහ ආචාරධර්ම කඩ කිරීමේදී හිමිවන දඬුවම්වල ස්වරූප අතර ද පැහැදිලි වෙනසක් දක්නට ඇත. එනම් නීතියෙන් වරදක් වන ක්‍රියාවලදී දඩ නියම කිරීම, සිරගත කිරීම හා මරණීය දණ්ඩනය වැඩි දඬුවම්වලට ලක්වීමට සිදුවේ. එය විධිමත් ලෙස ස්ථාපිත කරන ලද අධිකරණ ක්‍රියාවලියක් තුළ සිදුවේ. එහෙත් ආචාරධර්ම කඩ කිරීමක් සිදුවූ විට ඊට දඬුවම් හිමිවන්නේ සමාජය විසිනි. එනම් අපවාදවලට ලකවීම වැනි තත්ත්වවලට එහිදී මුහුණපෑමට සිදුවේ (MacKinnon සහ Fiala, 2016).

ආචාරධර්ම සහ දේශපාලනය

ආචාරධර්ම ප්‍රබල සම්බන්ධතාවක් දක්වන මීළඟ ක්ෂේත්‍රය වන්නේ දේශපාලනයයි. එනම් මානව සමාජයක් පාලනය කිරීම සඳහා යොදාගැනෙන පාලන විධික්‍රම, පාලකයින් ඇතුළු සමස්ත පාලන තන්ත්‍රය දේශපාලනය වශයෙන් අර්ථ දැක්විය හැකිය.

දේශපාලනය නැමැති පදය සඳහා ඉංග්‍රීසි භාෂාව තුළ භාවිත කරනු ලබන Politics නමැති වචනය ග්‍රීක භාෂාවෙන් බිඳී ආ පදයක් ලෙස ප්‍රකාශ වේ. එනම් ග්‍රීක භාෂාවේ නගර පාලනය යන අරුත් දෙන “Polis” යන පදයෙන් ඉංග්‍රීසි භාෂාවේ “Politics” වචනය සෑදී ඇති අතර එහි සාමාන්‍ය අර්ථය “රාජ්‍ය පාලනය” යන්නය (සොයිසා, 2003). ඒ අනුව මානව සමාජයක් පාලනය කිරීම සඳහා යොදාගැනෙන පාලන විධික්‍රම, පාලකයින් ඇතුළු සමස්ත පාලන තන්ත්‍රය දේශපාලනය වශයෙන් අර්ථ දැක්විය හැකිය. එහිදී ආචාරධර්ම මූලික පාලන මූලධර්මයක් ලෙස භාවිතයට ගැනේ. එමඟින් පාලකයින් සහ පාලිතයින් අතර ගොඩනැඟෙන යහපත් සම්බන්ධතාව මෙන්ම පාලිතයින් සහ පාලකයින් අතර යහපත් අන්තර්ක්‍රියාවල ස්වභාවය දගොඩනඟනු ලැබේ. ඒ අනුව මනා පාලනයක් පවත්වාගෙන යාමට ආචාරධාර්මික තත්ත්ව වැදගත් වේ (සොයිසා, 2003).

ආචාරධර්ම පිළිබඳ න්‍යායික සංකල්ප වර්ගීකරණය හා යුක්ත්‍යාත්මවාදය

ආචාරධර්ම පිළිබඳ න්‍යායික සංකල්ප ගණනාවක් ආචාරධර්ම පිළිබඳ සාහිත්‍ය අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබේ. එම න්‍යායික සංකල්ප පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැකිය.

එහිදී යුක්ත්‍යාත්මවාදය (Deontology), ප්‍රතිමානක ආචාරධර්ම (Normative Ethics) කාණ්ඩයේ ඵලවාදී නොවන (Non-consequentialist) ආචාරධර්ම අනුකාණ්ඩයේ ආචාරධර්මාත්මක ප්‍රවර්ගයක් වශයෙන් හඳුනාගත හැකිය.

යුක්ත්‍යාත්මවාදය (Deontology)

ආචාරධර්ම පිළිබඳ යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම (Deontological ethics) උපයෝගීතාව වැනි සාධ්‍යතාවාදී ආචාරධර්ම හා බැඳුණු ගැටලු රැසකට විසඳුම් සපයයි. යුක්ත්‍යාත්මවාදය (Deontology) අනුව සෑම පුද්ගලයෙකුටම යම් යම් බැඳීම් පවතී. මෙම බැඳීම් හුවමාරු කර ගත නොහැකිය. එමෙන්ම ඒවා මිලදී ගැනීමට හෝ බැහැර කිරීමට ද නොහැකිය. අන්සතු කළ නොහැකි අයිතිවාසිකම්වල පදනම වන්නේ මෙම බැඳීම්ය.

අයිතිවාසිකම්, බැඳීම් හා යුක්තිය වැනි සංකල්පවලට සාධ්‍යතාවාදය මඟින් පිළිතුරු නොසපයයි. එබැවින් යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම සංකල්ප ආචාරධර්ම පිළිබඳ න්‍යායන් අතර කේන්ද්‍රීය ස්ථානයක් වේ. මෙම න්‍යාය අනුව යම් ක්‍රියාවක් ඊට නියමිත වගකීම්වලට ගරු කරයි නම් එය සදාචාරාත්මකව යහපත් ක්‍රියාවක් වේ. මෙවැනි න්‍යායක් මගින් ඇතැම් පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට අයිතිවාසිකම් හෝ යුක්තිය කියාපෑමක් සිදුවේ.

ආචාරධර්ම පිළිබඳ චින්තනයේ එක් පාර්ශ්වයක් ක්‍රියාවේ නිවැරදිභාවය හෝ තීරණ ගනු ලබන්නන්ගේ අභිප්‍රායන් සම්බන්ධයෙන් යොමු කෙරේ. යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම පිළිබඳ න්‍යායාචාරීන් අවධාරණය කරන්නේ  කාර්යය පිළිබඳ හැඟීමකින් තොරව යමක් සිදුකරන්නේ නම් එය සදාචාරාත්මක වශයෙන් නිවැරදි බවය.

යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම පිළිබඳ වඩාත් හොඳින් එමැනුවෙල් කාන්ට් ආචාරධර්ම පිළිබඳ සිය විග්‍රහය තුළින් ඉදිරිපත් කරයි. ජර්මානු දාර්ශිනකයෙකු වන ඔහුගේ දර්ශනය නූතන දර්ශනය පිළිබඳ ඉතිහාසයේ අතිශය වැදගත් අංශයක් ලෙස සලකනු ලැබේ. ඒ අනුව  නූතන දර්ශනය ඇතැම් අවස්ථාවල පූර්ව කාන්ටියානු හා පශ්චාත් කාන්ටියානු අවධි ලෙස ද වර්ගකරනු ලැබේ. දර්ශනයේදී ආමන්ත්‍රණය කළ යුතු මූලික ගැටලු දෙකක් සම්බන්ධයෙන් කාන්ට් විශ්වාස කරයි. එනම්, මට දැන ගත හැක්කේ කුමක්ද? සහ මා කුමක් කළ යුතු ද? යන්නයි.

යුක්ත්‍යාත්මවාදය යන්නෙහි ඉංග්‍රීසි වචනය වන Deontology යන්න ගොඩනැගී ඇත්තේ ග්‍රීක භාෂාවේ deon නමැති පදයෙනි. එහි අර්ථය යුතුකම යන්නයි. ඒ අනුව යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම මගින් යුතුකම්, බැඳීම් හා අයිතීන් පිළිබඳ අවධානය යොමු කරයි. deontological නමැති යෙදුම උපයෝගිතාවාදී දාර්ශනික ජෙරමි බෙන්තම් විසින් නිර්මාණය කර ඇති අතර එමඟින් ඔහු විස්තර කළේ නිවැරදි හෝ සුදුසු කුමක්ද යන්න පිළිබඳ දැනුම යනුවෙනි (Bentham, 1834). උපයෝගීතාව පිළිබඳ මූලධර්මවල දිශානතිය කෙරෙහි යුක්ත්‍යාත්මවාදී අභිප්‍රායන් යොමුවන බව බෙන්තම් විශ්වාස කළේය. කෙසේ වෙතත් සමකාලීන  දාර්ශනිකයින් යුක්ත්‍යාත්මවාදය නමැති යෙදුම භාවිත කරනු ලැබුවේ ක්‍රියාවල ප්‍රතිවිපාක කෙරෙහි උපයෝගිතාවාදීව අවධානය යොමු කිරීම සමඟ වෙනස දැක්වීමටය. යුක්ත්‍යාත්මවාදී මූලධර්ම මගින් අවධාරණය යොමු කරනු ලබන්නේ යහපතට වඩා නිවැරදි කුමක් ද යන්නයි.

උපයෝගිතාවාදී මූලධර්ම මඟින් වැඩිම පිරිසකගේ වැඩිම සතුට කෙරෙහි අවධානය යොමු කෙරේ. යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම මඟින් අවධානය යොමු කරනු ලබන්නේ සතුටට සුදුසු දේ ලබා දෙන්නේ කවරක්ද යන්න පිළිබඳවය. අප අපගේ යුතුකම ඉටුකළ හොත් පමණක් සතුට ලැබීමට සුදුසු වේ. කාන්ට් විස්තර කළ පරිදි සදාචාරය යනු සුඛය පිළිබඳ ආගමක් නොවන අතර එය සුඛයට පත්වීම සඳහා වන උපදෙස් මාලාවක් ද නොවේ. එනම් සදාචාරය යනු සුඛයේ තාර්කික තත්ත්වයකි (MacKinnon සහ Fiala, 2016, පි. 115).

ජනමාධ්‍ය ආචාරධර්ම යුක්ත්‍යාත්මවාදී ප්‍රවේශයකින්

ජනමාධ්‍ය මගින් ග්‍රහකගත කරන සංදේශ මගින් සිදුවන අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා සංකල්පීය ආකෘතියක් යුක්ත්‍යාත්මවාදය ඇසුරින් ගොඩනඟා ගත හැකිය.

යුතුකම්, බැඳීම් සහ අයිතීන් මත පදනම්ව විග්‍රහ කළ හැකි යුක්ත්‍යාත්මවාදී ආචාරධර්ම සහ සංස්කෘතික වටිනාකම්, සමාජ වගකීම සහ ප්‍රකාශනයේ නිදහස මත පදනම් වන මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ අන්තර්ඡේදනයක් ලෙස ජනමාධ්‍ය ආචාරධර්ම යුක්ත්‍යාත්මවාදී ප්‍රවේශයකින් සංකල්පීකරණය කළ හැකිවේ. එනම් ජනමාධ්‍ය ආචාරධර්ම සකස් කිරීමේදී සහ ඒවා ක්‍රියාවට නැංවේදී යුක්ත්‍යාත්මවාදී මූලධර්ම පිළිබඳ අවධානය යොමුකිරීම තුළ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය සමාජ වටිනාකම් සමඟ තුලනාත්මකව මෙහෙයවීමට මගපෙන්විය හැකිය. මේ අනුව සැලකීමේදී යුක්ත්‍යාත්මවාදී මූලධර්ම ජනමාධ්‍ය ආචාරධර්ම සඳහා සංකල්පීය පදනමක් ලෙස භාවිත කළ හැකි අතර විවිධ රටවලට අදාළව ජනමාධ්‍ය ආචාරධර්ම හඳුන්වාදීමේදී එම රටවල සංස්කෘතික පසුබිම පිළිබඳව ද අවධානය යොමුකරමින් ජන සමාජයට වඩාත් බද්ධවන ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් ගොඩනගා ගත හැකිය.

ජනමාධ්‍ය ආචාරධර්ම

ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයේ හෝ ජනසන්නිවේදනයේ අන්තර් ඡේදනයක් ලෙස ජනමාධ්‍ය ආචාරධර්ම අර්ථ දැක්විය හැකිය (Walker, 2000). ජනමාධ්‍ය ආචාරධර්ම, සන්නිවේදකයා සහ සන්නිවේදන ආයතනය සඳහා අභ්‍යන්තර වශයෙන් අදාළ පවතින අගයන් සහ වටිනාකම් වේ. එනම් මෙය අභ්‍යන්තර මූලධර්මයක් වන අතර සියලු ආචාරධර්මාත්මක මූලධර්ම සහ ආකාරයන් එමගින් නිරීක්ෂණය විය යුතුය. එමෙන්ම එය ජනමාධ්‍ය සඳහා පවතින අයිතීන්වලින් සහ නීතියෙන් ද වෙනස් වේ (Keyanpour, 2012).

සමාජය වෙතින් ඉස්මතු වූ සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇති අගයන් සහ වටිනාකම් සමඟ මාධ්‍ය ආචාරධර්ම ගනුදෙනු කරයි. මෙම තත්ත්වය ආචාරධර්ම සහ ජනමාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය බව පැහැදිලිව ප්‍රකට වේ. මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ඇතැම් අවස්ථා තීරණ හෝ සිදුවීම්වලින් යුක්ත වන අතර අගයන් දෙකක් හෝ වැඩි ගණනක් අනෙක් ඒවාට ප්‍රතිපක්ෂව පිහිටුවීම සිදුවන බැවින් විශේෂ තීරණයක් සහ විශේෂ ආකාරයක් මත පදනම්ව ජනමාධ්‍ය විසින් ඒවාට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය (Belsey සහ Chadwick, 1995).  

ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ආචාරධර්මාත්මක රටාවන් හා වටිනාකම් සකස් කිරීම සහ පරිණාමය සම්බන්ධ විවිධ ගැටලු සලකා බලනු ලබයි. තව ද ජනමාධ්‍ය සහ නීතිමය ප්‍රතිපත්ති මත ඵලදායී ලෙස ආචාරධර්ම ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කරනු ලැබේ (Plaisance, 2008).

ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ අවධානය යොමුකිරීමේදී මුල් වරට පුවත්පත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධති හඳුන්වාදීම සිදුවූ අතර ඉන් අනතුරුව ගුවන්විදුලි මාධ්‍යයට හා රූපවාහිනී මාධ්‍ය සඳහා ජාත්‍යන්තර වශයෙන් මෙන් ම දේශීය වශයෙන් ද ආචාරධර්ම පද්ධති හඳුන්වාදීම දක්නට ලැබේ. ප්‍රථම වරට ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමේ ඉතිහාසය 1920 දශකය දක්වා දිව යන අතර ඒ අනුව 1926 වසරේ අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වුණු සම්මේලනයේදී පුවත්පත් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙනු ලැබීය. අනතුරුව 1965 වසරේ ලීටා සම්මේලනයේදී අන්තර් අමෙරිකානු විකාශකයින්ගේ සංගමය ගුවන්විදුලි සහ රූපවාහිනී සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදුන් අතර මෙසේ ජාත්‍යන්තර වශයෙන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධති හඳුන්වාදීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධති හඳුන්වාදීම පිළිබඳ අවධානය යොමුකිරීමේදී 1973 අංක 5 දරණ පනත යටතේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පත්‍රකලාවේදීන් සඳහා වන ආචාරධර්ම පද්ධතිය 1981 වසරේදී හඳුන්වාදුන් අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා කර්තෘ සංසඳය මඟින් හඳුන්වාදුන් ආචාරධර්ම පද්ධතිය ද මෙරට පුවත්පත් මාධ්‍ය සඳහා භාවිත කළ හැකි ආචාරධර්ම පද්ධති ලෙස පෙන්වාදිය හැකිය. මෙරට විද්‍යුත් මාධ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පොදුවේ පිළිගනු ලැබූ ආචාරධර්ම පද්ධතියක් දක්නට නොලැබෙන නමුත් විවිධ මාධ්‍ය ආයතන සිය ආයතනයට බලපාන පරිදි පනවාගනු ලැබූ ආචාරධර්ම පද්ධති මෙන්ම මෙරට සියලු ජනමාධ්‍ය ආවරණය වන ලෙස 2013 වසරේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් හඳුන්වාදීමට උත්සාහ කළ ආචාරධර්ම පද්ධතිය ද පෙන්වාදිය හැකිය.

සංඛ්‍යාංක මාධ්‍ය ආචාරධර්ම

පුවත්පත් මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය හා රූපවාහිනී මාධ්‍යවලින් අනතුරුව බිහිවන සංඛ්‍යාංක මාධ්‍ය අද්‍යතන මාධ්‍ය ප්‍රවර්ග අතර වඩාත් බලපෑම් සහගත මාධ්‍ය විශේෂය බවට පත්ව තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලයේ සම්භවය සහ විකාශයත් සමඟ බිහිවූ සමාජ මාධ්‍ය නූතන මානව විඥානය ගොඩනැගීමේ සහ සකස් කිරීමේ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත. එබැවින් සංඛ්‍යාංක මාධ්‍ය ලෙස අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය සඳහා ආචාරධර්මාත්මක භාවිතයක් පැවතීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ සඳහා වන ප්‍රවේශ ගණනාවක් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී හඳුනාගැනීමට හැකිවේ.

ඒ අතරින් ප්‍රාථමික මට්ටමේ ප්‍රවේශයක් ලෙස සමාජ මාධ්‍ය වේදිකා මඟින් ස්වයං-නියාමන ක්‍රියාවලි ක්‍රියාවට නංවා තිබීම පෙන්වා දිය හැකිය. ස්වයං නියාමනය යනු රාජ්‍ය හෝ වෙනත් පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව සමාජ මාධ්‍ය වේදිකා මඟින් ස්වේච්ඡාවෙන්ම ක්‍රියාවට නංවනු ලබන නියාමන ක්‍රමවේදයකි. සමාජ මාධ්‍ය භාවිතයේදී මේවා අනිවාර්ය සේවා කොන්දේසි හෝ පරිශීලක රීති ලෙස හැඳින්වේ. නිදසුන් ලෙස Facebook සමාජ මාධ්‍ය තුළ මෙම රීති ප්‍රජා ප්‍රමිති (Community Standards) හා YouTube සමාජ මාධ්‍යය තුළ මෙම රීති ප්‍රජා මාර්ගෝපදේශ (Community Guidelines) ලෙස හඳුන්වනු ලැබේ. පරිශීලකයින් විසින් සමාජ මාධ්‍ය අවකාශයට මුදාහරිනු ලබන අන්තර්ගතයන් මෙම රීතිවලට අනුකූල ද යන්න සොයාබැලීම ස්වයංක්‍රීය පරිගණක වැඩසටහන් මඟින් හෝ මානව සමාලෝචකයින් විසින් සිදුකරනු ලබයි. යම් අන්තර්ගතයක් මෙම රීති උල්ලංඝනය කර ඇත්නම් විවිධ දඬුවම්වලට ලක්කිරීම සිදුකරනු ලබන අතර යම් කෙටි කාලයකට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ පහසුකම් අත්හිටුවීම, ගිණුම අත්හිටුවීම හෝ යම් පරිශීලකයෙකු එම කෙටි කාලීන දඬුවම් නොතකා නොකඩවා පරිශීලක රීති උල්ලංඝනය කිරීමේ නිරත වන්නේ නම් ගිණුම අහිමි වීම දක්වා වන දඬුවම්වලට යටත් වීමට සිදුවේ. නිදසුන් ලෙස අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් දිගින් දිගටම සමාජ මාධ්‍ය පරිශීලක රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් Twitter, Facebook හා Instagram සමාජ මාධ්‍ය වේදිකා මඟින් ඔහුගේ ගිණුම් තහනම් කිරීමට ක්‍රියාකිරීම පෙන්වා දිය හැකිය.

සමාජ මාධ්‍ය වේදිකා මට්ටමෙන් සිදුකරන මෙම මෙම ස්වයං නියාමන ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් ස්වයං නියාමනයේ ද්විතීයික මට්ටමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් තාක්ෂණික සමාගම් විවිධ රජයන්, සිවිල් සමාජය, ශාස්ත්‍රීය ප්‍රජාව සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි. මෙවැනි ප්‍රතිපත්තිමය එකඟවීම් කර්මාන්තමය භාවිත සංග්‍රහයන් (Industry Codes of Practice) ලෙස හඳුන්වනු ලැබේ. එහිදී බහුවිධ තාක්ෂණික සමාගම් ඔවුන්ගේ අන්තර්ගත භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ සිය වේදිකාවල අඛණ්ඩතාව අරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති, ක්‍රියාවලිය හෝ නිෂ්පාදන මැදිහත්වීම් ක්‍රියාවට නැංවීමට පොදු ප්‍රතිපත්ති මාලාවක් සඳහා අත්සන් කරමින් එකඟ වන රාමුවකින් සහ විධිවිධානවලින් බැඳී සිටියි. මෙම කර්මාන්තමය භාවිත සංග්‍රහයන් තනි පරීශීලකයින් සඳහා නොව වේදිකා සඳහා සේවා සපයන තාක්ෂණික සමාගම් සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර එවැනි සංග්‍රහයන් මගින් අන්තර්ගතයන් පාලනය කිරීමේ ක්‍රම, නිත්‍ය ස්වයං වාර්තාකරණය සහ ඒකාබද්ධ සමාලෝචන සපයනු ලැබේ.

කර්මාන්තමය භාවිත සංග්‍රහ – ගෝලීය පූර්වාදර්ශ

හානිකර අන්තර්ජාල අන්තර්ගතයන් ආමන්ත්‍රණය කිරීම සඳහා වන ගෝලීය සහයෝගිතා ප්‍රවේශය ආරම්භ වන්නේ 2016 වසරේදී හඳුන්වාදුන් අන්තර්ජාල නීති විරෝධී වෛරී ප්‍රකාශවලට එරෙහිවීම පිළිබඳ යුරෝපා සංගම් ආචාරධර්ම සංග්‍රමය මගිනි. Facebook, Microsoft, Twitter, YouTube ආයතන 2016 වසරේ මැයි මාසයේදී මෙම ආචාරධර්ම සංග්‍රහය අනුගමනය කිරීමට එකඟ වූ අතර 2018 වසරේදී Instagram, Snapchat, Dailymotion හා 2019 වසරේදී Jeuxvideo.com, 2020 වසරේදී TikTok, 2021 වසරේදී LinkedIn මෙන්ම 2022 වසරේදී Rakuten Viber හා Twitch මීට එකඟත්වය පළකර ඇත (The EU Code of conduct on countering illegal hate speech online, n.d.).

මෙම භාවිත සංග්‍රහය අනුව යමින් 2021 වසරේදී සිදුකරන ලද 6 වැනි සමාලෝචනය අනුව අංශ ගණනාවක් යටතේ සමාජ මාධ්‍ය වේදිකා දක්වා ඇති ප්‍රතිචාර එළිදක්වා තිබේ. ඒ අනුව නීති විරෝධී වෛරී ප්‍රකාශ පිළිබඳ දැනුම්දීම්, දැනුම්දීම් තක්සේරු කිරීමේ කාලය, ඉවත් කිරීමේ ප්‍රමාණයන්, පරිශීලකයින්ට සහ විනිවිදභාවය සඳහා වන ප්‍රතිපෝෂණ හා වෛරී තත්ත්ව වාර්තා කිරීම පිළිබඳ පසුබිම ආදී අංශ යටතේ සමාජ මාධ්‍ය වේදිකා කටයුතු කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත.  

මෙම ආචාරධර්ම සංග්‍රහයෙන් අනතුරුව යුරෝපා සංගමය 2018 වසරේදී සාවද්‍ය තොරතුරු පිළිබඳ නීති සංග්‍රහයක් සම්මත කළේය. තාක්ෂණික ආයතන, පර්යේෂකයින්, දැන්වීම් ආයතන, මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව 34 ක් පාර්ශ්වකරුවන් ලෙස මේ වන විට ඊට එකඟත්වය පළකර ඇත (The 2022 Code of Practice on Disinformation, n.d.). යුරෝපා සංගමයේ මෙම අත්දැකීම් 2021 වසර මුල් භාගයේ සම්මත කරන ලද සාවද්‍ය තොරතුරු සහ දුස්තොරතුරු පිළිබඳ ඕස්ට්‍රේලියානු භාවිත සංග්‍රහයට ද පූර්වාදර්ශයක් බවට පත්විය (Disinformation Code, n.d.). මෙම යුරෝපා සංගම් සහ ඕස්ට්‍රේලියානු සංග්‍රහයන් පුළුල් කරමින් අන්තර්ජාල ආරක්ෂාව සහ හානි සඳහා වන නවසීලන්ත භාවිත සංග්‍රහය (Aotearoa New Zealand Code of Practice for Online Safety and Harms) 2022 වසරේ ජූලි මාසයේ එළිදැක්වූ අතර එමගින් වඩාත් පුළුල් පරාසයක අන්තර්ජාල ආරක්ෂාව සහ හානිකර අන්තර්ගත තේමාවන් ආවරණය කර තිබේ (Aotearoa New Zealand Code of Practice for Online Safety and Harms, n.d.). තව ද Digital Trust and Safety Partnership නමැති ජාත්‍යන්තර සංවිධානය මගින් ද වඩාත් ආරක්ෂිත සහ විශ්වසනීය අන්තර්ජාල භාවිතයක් සඳහා කැපවෙමින් ප්‍රශස්ත භාවිත රාමුවක් (Best Practices Framework) 2021 වසරේ මුල්භාගයේදී නිකුත් කර තිබේ (Digital Trust & Safety Partnership Best Practices Framework, n.d.).

සංඛ්‍යාංක මාධ්‍ය ආචාරධර්ම සඳහා ශ්‍රී ලාංකේය ප්‍රවේශ

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ප්‍රමුඛ කර ගත් සංඛ්‍යාංක මාධ්‍යවල ව්‍යාප්තිය සහ බලපෑම් සහගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය පරිශීලකයින් වෙනුවෙන් ද සංඛ්‍යාංක මාධ්‍ය සඳහා වන ආචාරධර්ම හඳුන්වාදීමේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව, ඒ සඳහා වන පළමු උත්සාහය ලෙස පෙන්වා දිය හැකි වන්නේ 2017 වසරේදී හඳුන්වාදෙනු ලැබූ වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයයි. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙය හඳුන්වාදෙන ලදි.

මෙම ආචාරධර්ම සංග්‍රහය අනුව වෙබ්අඩවිවල නීතිමය හිමිකාරිත්වය දරන්නන්, ඒවායේ පරිපාලකයින් හා සංස්කාරකවරුන්ට වගකීම පවරා ඇත. එමෙන්ම වෙබ්අඩවි වෙත ලිපි, විශේෂාංග, ප්‍රවෘත්ති, තොරතුරු, ඡායාරූප, හඬපට හා වීඩියෝ සපයන පුද්ගලයින්ටද මෙම ආචාරධර්ම සංග්‍රහය වෙත අනුකූල වීමේ මූලික වගකීම පවරා තිබේ.

ප්‍රවෘත්ති සහ තොරතුරු එක්රැස්කිරීම, දෝෂ සහ අඩුපාඩු නිවැරදි කිරීම්, මූලාශ්‍රයන්හි විශ්වසනීයත්වය, වාර්තාකරණයෙහි සමාජ වගවීම, පුද්ගල සහ පෞද්ගලික රහස්‍යත්වය, වෙබ් මාධ්‍ය ආශ්‍රිත පුද්ගලයින්ගේ චර්යාව සහ මහජන අභිලාෂයන් ආරක්ෂා කර පවත්වාගෙන යාම යන තේමා යටතේ මෙහි රීති පෙළගස්වා ඇති අතර පොදුවේ ඕනෑම ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක දක්නට ලැබෙන රීති අනුගමනය කරමින් ඒවා වෙබ් මාධ්‍ය සඳහා සුවිශේෂී වන අයුරින් මෙම ආචාරධර්ම සංග්‍රහය තුළ ඉදිරිපත් කර තිබේ (වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය, 2017). ඒ අනුව මෙරට අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් එළිදක්වන ලද ප්‍රථම ආචාරධර්ම සංග්‍රහය ලෙස මෙම වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය ඇගයීමට ලක්කළ හැකිය.

සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ආමන්ත්‍රණය කරමින් ආචාරධර්මාත්මක ප්‍රවේශයකින් එළිදැක්වූ මෙරට ප්‍රථම රීති මාලාව 2019 වසරේදී හඳුන්වා දෙනු ලැබූ අතර  “සමාජ මාධ්‍ය ප්‍රකාශනය” කොළඹ – 2019 ලෙස එය නම් කර ඇත. වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා වන මගපෙන්වීම් මාලාව ලෙස හඳුන්වා ඇති මෙම ප්‍රකාශනය සමාජ මාධ්‍යයට සම්බන්ධ පාර්ශ්ව කෙරෙහි වගකීම් පවරා ඇති රීති මාලාවක් ලෙස හඳුන්වාදිය හැකිය.

මෙම ප්‍රකාශනය එළිදැක්වීම සඳහා සිවිල් සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව 19 ක දායකත්වය ලැබී තිබේ. වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා ප්‍රජාව පෙළඹවීම මෙම ප්‍රකාශනයේ මූලික අරමුණකි. ඒ අනුව, එමඟින් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා කර ඇති කරුණු අතර ඩිජිටල් අයිතිවාසිකම මානව අයිතියක් ලෙස පිළිගැනීම, මාධ්‍ය සාක්ෂරතාව හා තොරතුරු සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලිකත්වයට ඇති අයිතියට ගරු කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ නිවැරදි තොරතුරු ප්‍රචාරය කිරීම ප්‍රවර්ධනය කිරීම ද වැදගත් වේ. තව ද කාන්තාවන් ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩත්වය සමාජ මාධ්‍ය තුළින් බැහැර කිරීම ද ප්‍රවර්ධනය කෙරේ.

මෙම ප්‍රකාශනය තුළ යහපත් සමාජ මාධ්‍ය භාවිතයක් උදෙසා ප්‍රධාන පාර්ශ්ව හතරක වගකීම් අවධාරණය කර ඇත. ආණ්ඩුව, සමාජ මාධ්‍ය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන එම පාර්ශ්ව වේ. එම එක් එක් පාර්ශ්ව සිය සාධනීය දායකත්වය සමාජ මාධ්‍ය තුළ ප්‍රකට කිරීම මඟින් සමාජ මාධ්‍ය අවකාශයේ ක්‍රියාකාරිත්වය තුළ වඩාත් හිතකර පරිසරයක් ගොඩනැංවීමට අවස්ථාව ලබාගැනීම මෙම ප්‍රකාශනය මඟින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ආණ්ඩුවට පැවරී ඇති වගකීම් අතර පරිශීලකයින්ගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව සඳහා නීති පැනවීම, අදහස් පළකිරීමේ නිදහස සුරක්ෂිත කිරීම, වෛරය හා ප්‍රචණ්ඩත්වය පතුරන හා සාවද්‍ය අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවලට පවත්නා බැඳීම වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, අන්තර්ජාලය භාවිත කිරීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකර ඇත. සමාජ මාධ්‍ය වේදිකාවලට පවත්නා වගකීම් අතර ඒවායේ භාෂා ධාරිතාව ඉහළ නැංවීම, ශ්‍රී ලාංකික අන්තර්ගතයන් සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලිවලට විසඳුම් සැපයීම කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රතිපත්ති උපරිමයෙන් දේශීය භාෂාවලින් ප්‍රසිද්ධ කිරීම, තාක්ෂණික සමාගම්වලට වෘත්තීය මට්ටමෙන් හා පොදුවේ යොදාගත හැකි ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමට යෝජනා කිරීම ආදිය කැපී පෙනේ. එසේම මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය සතු වගකීම් ලෙස ඩිජිටල් ක්ෂේත්‍ර තුළ සෑම ප්‍රජාවගේම අයිතිවාසිකම් තහවුරු කිරීමට ආණ්ඩුව දිරි ගැන්වීම, ඩිජිටල් සාක්ෂරතාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට ඇතුළත් කිරීමට ආණ්ඩුවට බල කිරීම, සමාජ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන ව්‍යාජ තොරතුරු අනාවරණය කිරීම හා වෛරී කථනවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ව්‍යාපාර බිහිකිරීමට මූලිකත්වය ගැනීම ආදිය වැදගත් වේ (සමාජ මාධ්‍ය ප්‍රකාශනය, 2019).

මෙම ආචාරධර්ම සංග්‍රහවලින් තවදුරටත් ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන් ආමන්ත්‍රණය කිරීම සඳහා කර්මාන්තමය භාවිත සංග්‍රහයක් (Industry Codes of Practice) සංග්‍රහගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි. ඒ සඳහා යුරෝපා සංගමයේ භාවිත සංග්‍රහය ඇතුළු සංග්‍රහයන් මෙන්ම විශේෂයෙන්ම වඩාත් පුළුල් තේමාත්මක ආවරණයක් සහිත වන නවසීලන්ත සංග්‍රහය ද පූර්වාදර්ශ කොටගෙන ඇත. රාජ්‍ය නොවන ආයතන, සිවිල් සමාජ පාර්ශ්ව, ජනමාධ්‍ය පාර්ශ්ව, ශාස්ත්‍රීය හා තාක්ෂණීක ප්‍රජාව සමඟ සහයෝගී දායකත්වයෙන් යුතු ස්වාධීන චින්තන මණ්ඩලයක දායකත්වය මේ සඳහා ලබාගෙන තිබේ.

මෙම ක්‍රියාවලිය 2022 මාර්තු 16 වැනිදා කොළඹ දී ආරම්භ වූ අතර 15 දෙනෙකුගෙන් යුත් බහු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත උපදේශක කණ්ඩායමක් මගින් මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදුකෙරිණ. සංග්‍රහය සකස් කිරීම සහ පාර්ශ්වකරුවන්ගේ උපදේශන මෙහෙයවීම සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුතු මූලික කණ්ඩායමක් විසින් සිදුකරන ලදි. එම පිරිස සිවිල් සමාජය, මාධ්‍ය, තාක්ෂණික ප්‍රතිපත්ති හා අන්තර්ජාල පාලනය ආදී ක්ෂේත්‍රවලින් තෝරාගන්නා ලද ශ්‍රී ලාංකේය පුරවැසියෝ වෙති. මූලික කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු කෙටුම්පත් කිරීමේ කණ්ඩායම ලෙස කටයුතු කර ඇති අතර කමිටුවේ සෙසු සාමාජිකයින් විසින් සමසමාලෝචන සපයා ඇත.  

මෙහිදී වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම, සාවද්‍ය තොරතුරු, දුස්තොරතුරු හා සයිබර් හිරිහැර කිරීම හෝ විනෝද හිංසනය යනාදිය ශ්‍රී ලංකා භාවිත සංග්‍රහයේ මූලිකා තේමා ලෙස හඳුනාගෙන ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා අනෙකුත් මූලික මානව හිමිකම්වලට ගරු කිරීම, ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, අවශ්‍යතා, සමානුපාතිකත්වය සහ සාධාරණත්වය, අන්තර්ජාලයේ පාරජාතික සහ ගෝලීය ස්වභාවය හඳුනාගැනීම, පුළුල් යොදාගැනීමේ හැකියාව සහ සහභාගිත්වය, නව්‍යකරණය, පද්ධති මත පදනම් වූ යහපත් භාවිත ප්‍රමිතීන්, විනිවිදභාවය සහ සමස්ත සමාජයේ සහයෝගීතාවය යන මාර්ගෝපදේශ මූලධර්ම මත පදනම්ව මෙය සංග්‍රහ ගත කරනු ලැබේ. මෙම මාර්ගෝපදේශ මූලධර්ම මගින් මීට අත්සන් කරන පාර්ශ්වයන්ට සහ භාවිත සංග්‍රහයේ පරිශීලකයාට මග පෙන්වන මූලික වටිනාකම් ඉදිරිපත් කර තිබේ (අන්තර්ජාල ආරක්ෂාව සහ වගකීම් සහගත අන්තර්ගතයන් සඳහා ශ්‍රී ලංකා භාවිත සංග්‍රහය – කෙටුම්පත (සංස්. 1.2), 2022 නොවැ.).

පරිශීලකයින් ගොඩනගන අන්තර්ගතයන් මත රඳාපවතින තාක්ෂණික සමාගම් මෙන්ම ඒවායේ විශේෂිත වේදිකා ඔවුන්ගේ ගෝලීය හෝ කලාපීය පාර්ශ්ව මෙම සංග්‍රයට සිය එකඟත්වය පළකරනු ඇත. මෙම සංග්‍රහය සම්මත කරන අවස්ථාවේදී හෝ ඉන්පසුව ඕනෑම අවස්ථාවකදී ඔවුන්ට ඒ සඳහා සම්බන්ධවීමට අවස්ථාව පවතී. මෙසේ ජාත්‍යන්තර අත්දැකීම් සහ භාවිතයන් අනුව යමින් කර්මාන්තමය භාවිත සංග්‍රහයක් ශ්‍රී ලංකාව සඳහා ද හඳුන්වාදීම අන්තර්ජාල හා සමාජ මාධ්‍ය හානිකර අන්තර්ගතයන්වලට එරෙහිව ගනුලැබූ සාධනීය පියවරකි. මෙම භාවිත සංග්‍රහය ඉදිරියේදී ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් ප්‍රායෝගිකව මේ පිළිබඳ විමසා බැලීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ආචාරධර්ම, ජනමාධ්‍ය ආචාරධර්ම, සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආචාරධර්ම ඇතුළු මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා විමසීම් me@iranga.lk වෙත යොමුකරන්න.

ආශ්‍රිත මූලාශ්‍ර

ඉරංග, එස්. (2016). සමාජ මාධ්‍ය සංස්කෘතිය. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.

විමලධම්ම හිමි, කන්දෙගොඩ. (2010). ආචාරධර්ම. කර්තෘ ප්‍රකාශන.

සොයිසා, එම්.ඕ.ඒ. ද. (2003). දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත. මහරගම: තරංජි ප්‍රින්ටර්ස්.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය. (2017). වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය.

විකල්ප සහ තවත් අය. (2019). සමාජ මාධ්‍ය ප්‍රකාශනය.

SafeWebLK සහ තවත් අය. (2022 නොවැ.). අන්තර්ජාල ආරක්ෂාව සහ වගකීම් සහගත අන්තර්ගතයන් සඳහා ශ්‍රී ලංකා භාවිත සංග්‍රහය – කෙටුම්පත (සංස්. 1.2).

Oxford University Press. (n.d.). Ethic.In Oxford Learner’s Dictionary. Retrieved October 20, 2019, from https://www.oxfordlearnersdictionaries.com/definition/english/ethic?q=Ethic

Cambridge University Press. (n.d.). Ethics.In Oxford Learner’s Dictionary. Retrieved October 20, 2019, from https://dictionary.cambridge.org/dictionary/english/ethics?q=Ethics

Bellah, R. A. (2011). Religion in human evolution: from the Paleolithic to the Axial Age. US: Harvard University Press.

Cambridge University Press. (n.d.). Ethics. In Oxford Learner’s Dictionary. Retrieved October 20, 2019, from https://dictionary.cambridge.org/dictionary/english/ethics?q=Ethics

Keyanpour, L. (2012). Interaction between Media and Ethics. European Journal of Scientific Research, 90, pp. 606-612.

MacKinnon, B. and Fiala,  A.(2016). Ethics: Theory and Contemporary Issues, 9th Edition. US: Cengage Learning, pp. 115.

Walker, M.U. (2000) .Naturalizing, and using what we know in ethics. Canadian journal of philosophy (supplemetal) 26:75-101.

The EU Code of conduct on countering illegal hate speech online. (n.d.). Retrieved from https://ec.europa.eu/info/policies/justice-and-fundamental-rights/combatting-discrimination/racism-and-xenophobia/eu-code-conduct-countering-illegal-hate-speech-online_en

The 2022 Code of Practice on Disinformation. (n.d.). Retrieved from https://digital-strategy.ec.europa.eu/en/policies/code-practice-disinformation

Aotearoa New Zealand Code of Practice for Online Safety and Harms. (n.d.). Retrieved from https://nztech.org.nz/the-code/

Disinformation Code. (n.d.). Retrieved from https://digi.org.au/disinformation-code/

Digital Trust & Safety Partnership Best Practices Framework (n.d.). Retrieved from https://dtspartnership.org/best-practices/

 331 total views,  3 views today

Comments

comments