“තොරතුරු අක්රමිකතාව පිළිබඳ දිනය : ඩිජිටල් යුගයේදී ආපදාවලින් මිදීමේ හැකියාව ගොඩනැගීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම්” මැයෙන් LIRNEasia ආයතනයේ ප්‍රධාන අධ්‍යයන ද්විත්වයක ප්‍රතිඵල එළිදැක්වීම සඳහා සංවිධාන කළ වැඩසටහනක් 2025 ජූලි 03 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. මාධ්‍ය හා තාක්ෂණ ක්ෂේත්රවලට සම්බන්ධ සම්පත්දායක මණ්ඩල ත්‍රිත්වයක සහභාගිත්වයෙන් කතිකා තුනක් ඇසුරෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි. “සැබැවින්ම ක්‍රියාත්මක විසඳුම් සඳහා සීමිත සම්පත් ප්‍රශස්තකරණය කළ යුත්තේ කෙසේද?” මැයෙන් පැවති පළමු කතිකාව LIRNEasia හි ප්‍රධාන විධායක නිලධාරී හෙලනි ගල්පාය විසින් මෙහෙය වූ අතර එහි සම්පත්දායකයින් ලෙස නිපුනිකා රුහුණගේ, කුමාර් ලෝපේස්, රාහුල් නම්බුරි, දීපාංජලී අබේවර්ධන හා ඉසුරු සමරතුංග සහභාගි වූහ. නාලක ගුණවර්ධන මෙහෙයවූ දෙවැනි කතිකාව “සත්‍ය තොරතුරුවල සහ ව්‍යාපාරික මාධ්‍ය ආකෘතිවල දොරටුපාලකයින් ලෙස ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව” මැයෙන් පැවැත්වුණු අතර එහි සම්පත්දායකයින් ලෙස මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මන්දනා ඉස්මයිල්, මිලින්ද රාජපක්ෂ, සුරෝෂන ඉරංග සහ ශාන් විජේතුංග සහභාගි වී සිටියහ. තුන්වැනි කතිකාව “තොරතුරු අක්රමිකතාවට එරෙහිව සටන් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ භාවිතය” මැයෙන් පැවති අතර මර්ල් චන්දන විසින් මෙහෙයවූ එම කතිකාවේ සම්පත්දායකයින් ලෙස ධාරා මුන්ග්රා, ආචාර්ය ඇල්ඩු කොර්නලිසන්, දර්ශත ගමගේ සහ ආචාර්ය උදයශංකර් සතාසිවම් සහභාගි වූහ.

මෙහිදී LIRNEasia ආයතනය ජාතික වශයෙන් සිදුකළ සමීක්ෂණයක හා ව්‍යාජ තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමේ පියවරවල කාර්යක්ෂමතාව මැනීමේ පර්යේෂණාත්මක අධ්‍යයනය ද්විත්වයක තොරතුරු මෙම කතිකාවලට සමගාමීව හෙළිදරව් කෙරුණි. මෙහිදී ජාතික මට්ටමේ සමීක්ෂණය සඳහා නියැඳිය ලෙස ග්‍රාමසේවා වසම් 150 ක් නියෝජනය කරමින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් 2610 දෙනෙකු සහභාගි කරගෙන තිබූ අතර ඒ් අතරින් 1797 දෙනෙකු සිංහල පුවත් පරිශීලකයින් වූ අතර 813 දෙනෙකු දෙමළ පුවත් පරිශීලකයින් විය.
එහිදී තොරතුරු සම්බන්ධයෙන් වන ඔවුන්ගේ චර්යාව අධ්‍යයනය කළ අතර ව්‍යාජ පුවත් තහවුරු කරගැනීම සඳහා උපයෝගී කරගනු ලබන ක්‍රම පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ. තවද මාධ්‍ය ප්‍රභේදය, යවන්නා හෝ ආරම්භකයා සහ පෙර දැනුම මත පදනම්ව බලපෑමට ලක්වූ තොරතුරු පිළිගැනීම සහ විශ්වාසකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අධ්‍යයනය කර ඇත. එසේම සමාජ මාධ්‍යයන්හි පුවත් විශ්වාස කිරිම සම්බන්ධයෙන්ද මෙහිදී අධ්‍යයනයට ලක්කර තිබේ.

මෙහිදී බොහෝ දෙනෙක් අසත්‍ය තොරතුරු හුවමාරු කරගත් බව ප්‍රකාශ කර ඇති නමුත් අඩක් පමණ ප්‍රකාශ කර ඇත්තේ ඒ්වායේ අසත්‍ය බව හෙළිදරව් කිරීමේ අරමුණින් තමන් එසේ කළ බවයි. කෙසේ වුවත් බහුතරයක් සඳහන් කර ඇත්තේ සත්‍ය සහ අසත්‍ය පුවත් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවයි.

ව්‍යාජ තොරතුරු හඳුනාගැනීමේ හැකියාව කෙරෙහි බලපාන මානව ලක්ෂණ සම්බ්න්ධයෙන් ද මෙහිදී අධ්‍යයනයට ලක්කර ඇති අතර බොහෝ ජනවිකාස, චර්යාවන් සහ සන්දර්භීය සාධක පුද්ගලයෙකුගේ ව්‍යාජ තොරතුරු හඳුනාගැනීමේ හැකියාව කෙරෙහි බලපෑම් කරන බව නිරීක්ෂණයට වී තිබේ.
අධ්‍යයනයේ ප්‍රතිඵල සාරාංශ ගතකළ විට තොරතුරුවල අසත්‍යතාව හඳුනාගැනීමට සිංහල පුවත් පරිශීලකයින් සමස්තයක් ලෙස අඩු දක්ෂතාවක් දක්වන බව හෙළිදරව් වී ඇති අතර ව්‍යාජ පුවත් සමඟ සන්සන්දනය කිරීමේදී සත්‍ය පුවත් හඳුනාගැනීමට ඔවුන් සතු හැකියාව සාධනීය මට්ටමක පවතී. මෙම හැකියාව විවිධ මානව සාධක මත පදනම්ව ගොඩනැගී ඇති අතර එවැනි සාධක කිහිපයක් ලෙස චින්තන රටාව, ධ්‍රැවීකරණය හා ඩිජිටල් සාක්ෂරතාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකර ඇත. ජනගහනය සැලකීමේදී ඩිජිටල් සාක්ෂරතාව සහිත පිරිස සහ ඉහළ ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පිරිස ලෙස බෙදී ඇති බව ද දක්නට ලැබේ.
මේ සඳහා විසඳුම් පවතී ද නැතහොත් පුද්ගලයින්ගේ හැකියාව වර්ධනය කිරීමට හැකියාව පවතීන්නේ ද යන්න පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒ් අනුව එසේ හඳුනාගන්නා ලද ඇතැම් දුර්වලතා පහසුවෙන් මඟහරවා ගැනීමට හැකියාව පවතී. ආමන්ත්‍රණය කිරීමේදී ඇතිවිය හැකි දුෂ්කරතා අවම මට්ටමේ පවතින සහ විසඳුම් සංවර්ධනය හා බලපෑම සඳහා අවශ්‍ය කාලය අවම වන සාධක ලෙස ඩිජිටල් සාක්ෂරතාව, මාධ්‍ය සහ තොරතුරු භූදර්ශනය පිළිබඳ දැනුම හා තොරතුරු සහ පුවත් පිළිබඳ විශ්වාසය පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණය සඳහා පුවත් පරිශීලකයින් 1529 දෙනෙකු සහභාගි කරගෙන ඇති අතර ඉන් 802 දෙනෙකු සිංහල පුවත් පරිශීලකයින් වන අතර 727 දෙනෙකු දෙමළ පුවත් පරිශීලකයින් වේ. සහභාගි කරගත් පුද්ගලයින් එහිදී අංශ 05 ක් යටතේ පරීක්ෂාවට ලක්කරන ලදි. එම අංශ ලෙස පුහුණුකිරීම, වීඩියෝ නැරඹීමට අවස්ථාව සැලසීම, පරිගණක ක්‍රීඩා කිරීමට ලබාදීම, වට්ස්ඇප් සමූහ සඳහා යොමුවීමට අවස්ථාව සැලසීම හා වෙබ් අඩවි පරිශීලනයට අවස්ථාව සැලසීම යොදාගෙන තිබේ. තව ද ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ ගැඹුරින් මෙහෙයවන ලද සම්මුඛ සාකච්ඡා ද දත්ත රැස්කිරීමේ ක්‍රම ලෙස භාවිත කර තිබේ. එහිදී එම භාවිතයන් ව්‍යාජ පුවත්වලට එරෙහිව කටයුතු කිරීමේදී වඩාත් ඵලදායී බව අනාවරණය වී ඇති අතර වඩාත් විවේචනාත්මකව හා ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම සඳහා ඒ්වා මඟින් අවස්ථාව සැලසී තිබේ.

සහභාගිවූවන් විසින් මෙම භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ් අනුව පරිශීලක කාණ්ඩ සඳහා (නිද: වැඩිහිටි සහ තරුණ) වෙන් වෙන් වශයෙන් සැසි සකස් කිරීම, සිහිකැඳවීම් සහ කරුණු පරික්ෂා කිරීමේ ඉඟි සඳහා වට්ස්ඇප් සහ යෙදවුම් භාවිත කිරීම, ප්‍රායෝගික උදාහරණ සහ ක්‍රීඩා අන්තර්ගත කිරීම හා ස්ථිරසාර බලපෑමක් ඇතිකිරීම සඳහා නිරන්තරයෙන් පසුවිපරම් සිදුකිරීම එම නිර්දේශ ලෙස දක්වා ඇත.
ඒ් අනුව මෙම අධ්‍යයන ද්විත්වය ඔස්සේ ලබාගත් ප්‍රතිඵල මත පදනම්ව තොරතුරු අක්රමිකතාවට එරෙහිව කටයුතු කිරීම සඳහා වඩා වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කිරීමට හැකිවී ඇති අතර ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී LIRNEasia ආයතනයේ මෙම මැදිහත්වීම වඩා සාධනීය මෙහෙයක් ඉටුකර ඇති බව සඳහන් කළ යුතුය.
මෙම සම්පූර්ණ පර්යේෂණ වාර්තාව ලබාගැනීම සඳහා පිවිසෙන්න.
https://lirneasia.net/wp-content/uploads/2025/07/Information-disorder-Colombo-event-1.pdf
සම්පූර්ණ කතිකාව පහතින් නරඹන්න.
![]()









