කපිල එම්. ගමගේ විසින් රචිත “අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ” කෘතිය එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදුකෙරිණ. කවියෙකු, ලේඛකයෙකු ලෙස මෙන්ම විශේෂයෙන්ම කෘතහස්ත සන්නිවේදකයෙකු ලෙස අප විසින් හඳුනාගෙන සිටි මෙම රචකයාගේ මෙකී කෘතිය සන්නිවේදන සාහිත්‍යය සඳහා ඔහුගේ වූ සම්ප්‍රදානයේ ඉම පුළුල් කළ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. සන්නිවේදනය පිළිබඳ සාම්ප්‍රදායික තේමා විෂය කරගත් කෘති අතර මින් පෙර සිංහල පාඨකයින් විෂයෙහි සාකච්ඡා නොවූ සන්නිවේදනයේ නව පැතිකඩක් “අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ” කෘතිය මඟින් අධ්‍යයනයට ලක්කර තිබේ. මෙම සටහන මෙකී කෘතියේ වූ සුවිශේෂී ලක්ෂණ සහ සන්නිවේදන විෂය සීමාව පුළුල් කිරීමෙහිලා මෙම කෘතියෙන් ඉටුකර ඇති මෙහෙය පිළිබඳව තබන ලද්දකි.

ගීතය යනු සංගීතය, නාදය සහ රිද්මය සම්මිශ්‍රණව ගොඩනැගී ඇති අපූරු කලා මාධ්‍යයකි. ඒ ඔස්සේ ගීතය මානව හැඟීම් ප්රකාශනයෙහිලා අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ අයුරින් භාවිත වී තිබේ. අරගල ගීතය, ගීතයේ එක් උප ශානරයක් ලෙස හඳුනාගත හැකි අතර ලොව පුරා විවිධ අවස්ථාවල ඇතිවූ අරගලවල අරමුණු සන්නිවේදනය සඳහා මෙන්ම එකී අරගලවල අරමුණු සමඟ ජනතාව බැඳ තබා ගැනීමේ මෙවලමක් ලෙස අරගල ගීතයේ අවශ්‍යතාව සහ විකාශනය සිදුවී ඇති බව සඳහන් කළ හැකිය.
“අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ” කෘතිය ඔස්සේ ලොව පුරා සිදුවූ පුරවැසි දේශපාලන අරගල පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරයි. එහිදී සමාජ වෙනසක් සඳහා වූ ව්‍යාපාර සඳහා ගීතය මඟින් ඇතිකළ ප්‍රබල බලපෑම සහ එකී කලාත්මක ප්රකාශනය මඟින් චිත්තවේගීය සම්බන්ධතා නිර්මාණය කරන ක්‍රම පිළිබඳව ද මෙම කෘතිය මඟින් විමසීමට ලක්කර ඇත. ලොව පුරා සිදුවූ ප්‍රසිද්ධ සමාජ දේශපාලන අරගල සහ එම අරගල පාදක කරගත් ගීත අරගලවල අරමුණ මත පදනම්ව මෙහිදී විග්රහයට බදුන් කර තිබීම සුවිශේෂී වේ.
තවද, අරගල ගීතයන්හි ධනාත්මක සහ සෘණාත්මක සමාජ දේශපාලන බලපෑම පිළිබඳව පුළුල් විග්‍රහයක් ද මෙම කෘතියට ඇතුළත් වේ. විශේෂයන්ම ගීතය නමැති සුවිශේෂී කලා මාධ්‍යයේ, අරගල ගීතයන්හි සන්නිවේදන ශක්‍යතාවන්හි බලපෑම ද මෙම කෘතිය මඟින් විග්‍රයට ලක්කෙෙරන අතර අරගල මෙහෙයවීම සඳහා අරගල ගීත මඟින් ලබාදෙන දායකත්වය ඒ ඔස්සේ පුළුල් විවරණයකට බඳුන් කෙරේ.
අරගල ගීතයන්හි භාවිතය සහ බලපෑම පිළිබඳ ගෝලීය සන්දර්භය පමණක් නොව, විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ “අරගලය” නමැති වචනය වඩාත් ප්රබලව ස්ථාපිත වීමට බලපෑ 2022 වසරේ මෙරට සිදුවූ ගෝල්ෆේස් අරගලය පිළිබඳ සුවිශේෂී විග්‍රහයක් ශ්‍රී ලාංකේය අරගල සන්දර්භය පිළිබඳ සාකච්ඡා කරමින් කතුවරායා විසින් ඉදිරිපත් කර තිබේ. එහිදි ගෝල්ෆේස් අරගල සන්දර්භය තුළ භාවිත ගීතය පිළිබඳ සන්නිවේදනාත්මක හා ශාස්ත්‍රීය ප්රවේශයකින් කරුණු ඉදිරිපත් කරමින් අරගල ගීත පිළිබඳ අධ්‍යයනයේ නියැලෙන විද්‍යාර්ථින් සඳහා ඉවහල් වන ශාස්ත්‍රීය පසුබිමක් සහ මඟපෙන්වීමක් කතුවරයා මෙම කෘතිය මඟින් ගොඩනඟා තිබී ද අප සැමගේ ප්‍රශංසාවට ලක්විය යුතුය.
මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසිනි. අරගල ගීත අධ්‍යයනය කිරීමේදී අතිශය වැදගත් වන තොරතුරු රැසක් රූපසිංහ මහතා විසින් එහිදී ඉදිරිපත් කළ අතර නූතන ශ්‍රී ලාංකේය දේශපාලනය සමඟ බැඳී පවතින ගීත හා විවිධ අවස්ථාවලට අනුරූපව ඒවායේ භාවිතය එහිදී මැනවින් විග්රහයට බඳුන් කෙරිණි (දේශනය ඇතුළත් එළිදැක්වීමේ උත්සවයේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න). එබැවින් මෙම කෘතිය පරිශීලනයට අමතරව විජයානන්ද රූපසිංහ මහතාගේ එම දේශනයට සවන්දෙන ලෙස ද ඔබ සැමට ඇරයුම් කර සිටිමි.
එළිදැක්වීමේ උත්සවයේ සම්පූර්ණ වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න.
https://web.facebook.com/PlanBSolutionsPVTLTD/videos/1904162500439937
![]()








