සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්‍රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්‍යතනයේ ගෝලීය සංහතික ප්‍රජාවක් ගොඩනැගීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටින ප්‍රධාන මෙවලම බව සඳහන් කළ හැකිය. සමාජ ප්‍රගමනයත් සමඟ නෛසර්ගික සම්බන්ධතාවක් පෙන්නුම් කරන සන්නිවේදන පරිණාමය අධ්‍යයනය අන්තර්විෂයික ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් ඇති කර තිබේ.
පූර්ව මානව සමාජය තුළ පුද්ගලානුබද්ධව ගොඩනැඟෙන සන්නිවේදන විධි ක්‍රම සමාජ විස්තාරණයක් සමඟ වඩාත් සංවිධිතව සංවර්ධනය වේ. නිර්චාවික සන්නිවේදනයෙන් ඇරඹී වාචික සන්නිවේදනය දක්වාත්, ඉන් අනතුරුව සංවිධානාත්මක සමාජ ක්‍රමවල අවශ්‍යතා සාධනය කිරීම හමුවේ බිහිවන විධිමත් භාෂා ව්‍යවහාරත් ඔස්සේ සන්නිවේදනය මානව සමාජය හැසිරවීමේ සහ එහි දිශානතිය තීරණය කිරීමේ ගාමක බලවේගයක් ලෙස ඉස්මතු වේ.
සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම ලෙස අප හඳුනාගන්නා ඇතැම් සන්නිවේදන මාධ්‍ය ප්‍රවර්ග සංඥාර්ථවේදී ප්‍රවේශය වැනි විවිධ න්‍යායාත්මක සංකල්ප මඟින් විග්‍රහයට බඳුන් කළ හැකි සංලක්ෂ්‍යවලින් සමන්විත වීම එකී මාධ්‍ය භාවිතයන්ගේ ප්‍රබල බව ප්‍රකට කරන කරුණකි. විශේෂයෙන්ම ශිලාලිපි සන්නිවේදනය මේ සඳහා පෙන්වාදිය හැකි එක් ප්‍රධාන නිදසුනක් වන අතර තත්කාලීන සමාජ ව්‍යුහය මෙහෙයවීමේ ප්‍රධාන දායකත්වයක් එමඟින් සපයා ඇත. ඒ අනුව සන්නිවේදන කාර්යය හුදෙක් තොරතුරු සම්ප්‍රේෂණයෙන් ඔබ්බට ගමන් කරන සමාජ කළමනාකරණ මෙවලමක් බව එවැනි සන්නිවේදන ක්‍රම ගණනාවක් දේශීයව මෙන්ම විදේශීයව ද භාවිතයට ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ වේ.
ජනමාධ්‍ය පිළිබඳ නූතන අර්ථයෙන් සලකා බැලීමේදී තාක්ෂණයේ ක්‍රමික දියුණුවත් සමඟ මුද්‍රිත මාධ්‍ය බිහිවීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි අතර, එහිදී ප්‍රථමයෙන් බිහිවන වඩාත් විධිමත් සන්නිවේදන මාධ්‍යය ලෙස පුවත්පත පෙන්වාදිය හැකිය. එය සියවස් ගණනාවක් පුරා සමාජයේ ප්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය ලෙස ආධිපත්‍යය දරමින් අද්‍යතනයේදී ද ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් පවතී. ඉන් අනතුරුව විද්‍යුත් මාධ්‍ය ප්‍රවර්ග ලෙස ගුවන්විදුලියේ හා රූපවාහිනියේ සමාජ ආගමනය සිදුවේ.
හඬ හෙවත් ශ්‍රව්‍ය සන්නිවේදනය මූලික කරගත් ගුවන්විදුලිය පුවත්පතේ සන්නිවේදන ශක්‍යතා අභිබවා යමින් මානව සමාජයට වඩාත් සමීප ජනමාධ්‍ය ප්‍රවර්ගයක් ලෙස ස්ථාපිත විය. යුනෙස්කෝ සන්නිවේදන විශේෂඥ පෝල් ඩි මැසෙනියර් (Paul De Maeseneer) සිය Here’s the News: A Radio News Manual කෘතියේ පෙන්වා දෙන්නේ වඩාත් ක්ෂණික, සමීප හා ප්‍රවේශ විය හැකි මාධ්‍යයක් වීම යන විභවතා ගුවන්විදුලිය සතු බවයි. මීළඟට බිහිවන රූපවාහිනී මාධ්‍යය ශ්‍රව්‍ය මෙන්ම දෘෂ්‍ය සන්නිවේදන ශක්‍යතා ද්විත්වය සහිතව එතෙක් ජනමාධ්‍ය ක්‍රියාත්මක වූ තත්ත්ව අතික්‍රමණය කරමින් ජන විඥානයට වැඩි බලපෑමක් කළ හැකි මාධ්‍යයක් ලෙස පෙරට පැමිණියේය.
අන්තර්ජාලය මින්පසු මානව සමාජයට පැමිණෙන අතිසුවිශේෂතම හා ප්‍රබලතම මාධ්‍ය මෙවලම වේ. එය ජනමාධ්‍ය එතෙක් පැමිණි ගමන්මඟ මුළුමනින්ම පරිවර්තනයට ලක්කරන අතර මානව සමාජ විකාශනයේ ද සුවිශේෂී හැරවුම් ලක්ෂයක් එමඟින් සනිටුහන් කර තිබේ. අන්තර්ජාලය ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය කෙරෙහි ඇතිකළ බලපෑම තාක්ෂණික සහ සංකල්පීය වශයෙන් මූලික වශයෙන් ප්‍රවේශ ද්විත්වයක් ඔස්සේ අවධානය යොමුකළ හැකිය. ඒ අනුව තාක්ෂණික වශයෙන් අන්තර්ජාලයත් සමඟ ලොව සෑම රාජ්‍යයකම දේශසීමා අහෝසි වෙමින් ගෝලීය සමාජ – සංස්කෘතික ව්‍යුහයක් නිර්මාණය වී ඇති අතර එය ජාතික රාජ්‍ය සංකල්පයට අභියෝග කරමින් ගෝලීය රාජ්‍ය ව්‍යුහයක් ගොඩනැංවීමේ තත්ත්වයක් නිර්මාණය කර ඇත.
අන්තර්ජාලයේ අද්‍යතන ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකිරීමේදී සමස්ත ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මේ වන විට අන්තර්ජාලය භාවිතයට නැඹුරු වී ඇති බව ප්‍රත්‍යක්ෂ වේ. සංඛ්‍යාත්මකව සලකන කල එය බිලියන 5 කට ආසන්න අගයකි. ගෝලීය අන්තර්ජාල පරිශීලක ප්‍රජාව ලෝක ජනගහනයෙන් අඩක් ඉක්මවූ බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) 2018 වසරේදී ප්‍රකාශ කළේය. 1989 වසරේදී ටිම් බර්නස් ලීගේ (Tim Berners-Lee) මූලිකත්වයෙන් අන්තර්ජාලයේ පොදුජන භාවිතය ඇරඹීමෙන් දශක තුනක් සපිරෙන විට අන්තර්ජාලය මෙතරම් ප්‍රජාවක් අතර ව්‍යාප්ත වීම මෙහි පවත්නා සුවිශේෂත්වය වේ. එම ව්‍යාප්තිය යනු හුදු තාක්ෂණික ක්‍රියාදාමයක් පමණක් නොව සමස්ත මානව සංහතියේම නව පරිවර්තනයක් සලකුණු කිරීමකි. කෙසේ වෙතත් අන්තර්ජාලය අවදානමකට ලක්ව ඇති බවත් ඊට එරෙහිව සියලු දෙනා එක්විය යුතු බවත් 2018 වසරේ මාර්තු 12 වැනිදා විශ්ව ව්‍යාප්ත ජාලයේ (World Wide Web) විසිනව වැනි සංවත්සරය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ ටිම් බර්නස් ලී පැවසීය. විශේෂයෙන්ම පුද්ගලික දත්ත අවදානමට ලක්වීම එහිදී විශේෂයෙන් සැලකිය යුතු තත්ත්වයකි.
සමාජ මාධ්‍ය අන්තර්ජාලයේ වඩාත් ජනප්‍රියම මාධ්‍ය ප්‍රවර්ගය වේ. තථ්‍ය (Real) සමාජ සම්බන්ධතා තථ්‍යාසන්න (Virtual) සමාජ අවකාශයක් වෙත මෙහිදී ගමන් කිරීම තුළ මානව සම්බන්ධතාවල ස්වරූපය ද ප්‍රතිනිර්මාණය වී තිබේ. මිත්‍රත්වය, ප්‍රේමය, වින්දනය, ලිංගිකත්වය ඇතුළු බොහෝ අංග මෙහිදී තථ්‍යාසන්නකරණයට (Virtualization) ලක්වීම හමුවේ සාධනීය මෙන්ම නිශේධනීය තත්ත්ව ගණනාවක් ගොඩනැගී ඇත. තොරතුරු බහුලීකරණය හා තොරතුරු යටත්විජිතවාදය වැනි අර්බුද මෙහිදී සුවිශේෂී වේ.
ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයත් සමඟ උත්කර්ෂයට නැංවුණු තොරතුරු යුගයේ තෘතීයික අදියර අපි මේ වන විට ගතකරමින් සිටින්නෙමු. මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය අභිසරණයෙන් (Convergence) ගොඩනැඟී ඇති මෙම අවධිය තුළ තොරතුරු යුගයේ ප්‍රතිඵලයක් වන විඥාපන පරාරෝපණය ද (Information Alienation) මානව සමාජය මෙහෙයවීමේ ප්‍රධාන මෙවලමක් ලෙස භාවිත වෙමින් තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු මෙන්ම සන්නිවේදන විෂය සම්බන්ධයෙන් ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති කතුවරයකු වන ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතා සන්නිවේදනයේ මෙම විවිධ අංශ පිළිබඳ විග්‍රහ කරමින් “සන්නිවේදන අවකාශ” නමැති කෘතිය රචනා කර තිබේ. විශේෂයෙන්ම සම්ප්‍රදායික සන්නිවේදනයේ සිට පුරවැසි මාධ්‍ය දක්වා පුළුල් විෂය පරාසයක් මෙම කෘතියෙන් ආවරණය කිරීමට ඔහු දරා ඇති ප්‍රයත්නය ප්‍රශංසනීය වේ. සන්නිවේදන දැනුම සොයා යන විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට, පාසල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයින්ට ද කෘති ගණනාවක් පරිශීලනය කිරීමෙන් ලැබිය හැකි දැනුම මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතිය පරිශීලනයෙන් ලබාගැනීමට හැකිවීම මහඟු පිටිවහලකි. සන්නිවේදන විෂය පිළිබඳ මෙම කතුවරයා දක්වන පෘථුල අවබෝධය ඔහුගේ මෙම කෘතියෙන් මනාව පැහැදිලි වේ.
මෙහි PDF පිටපත මෙතැනින් ලබාගන්න: Download PDF
2,389 total views, 1 views today