0

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?

කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම දක්වා විකාශනය වී ඇති අතර මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද කොරෝනා වසංගතය පිළිබඳ වාර්තාකරණය සුවිශේෂී තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. කෙසේ වුවත් කොරෝනා වසංගතය පිළිබඳ වාර්තාකරණ ක්‍රියාවලිය ඔස්සේ මෙරට ජනමාධ්‍ය භාවිතය යම් ප්‍රමිතිගත තත්ත්වයකට ගෙනඒමට අවශ්‍ය පසුබිම සහ මාර්ගෝපදේශ සකස් වුවද ජනමාධ්‍ය ආයතන ඒවා කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමුකර ඇති බව දක්නට නොමැත. මේ, ඒ පිළිබඳව ද අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා කොරෝනා වාර්තාකරණය පිළිබඳව තබන සටහනකි.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන්නේ 2020 වසරේ ජනවාරි මස අගභාගයේය. චීන ජාතික කාන්තාවක් වූ 43 හැවිරිදි ‘ලූ යැං’ නමැති ඇය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ දින 20 ක පමණ කාලයක් මෙරට සංචාරය කළ බව හඳුනාගෙන තිබුණි. ජනවාරි 25 වැනිදා මෙම ආසාදිත කාන්තාව හඳුනාගෙන තිබූ අතර ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇයව ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තා කළේය.

මෙම චීන ජාතික කාන්තාව සුවය ලබා 2020 පෙබරවාරි 19 වැනිදා රෝහලෙන් පිටව ගිය අවස්ථාවට එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහභාගි වීම මෙරට ජනමාධ්‍ය අතිවිශේෂ අවස්ථාවක් සේ සලකා වාර්තා කළේය. රෝහලෙන් පිටව යන අවස්ථාවේ චීන ජාතික කාන්තාවට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය ඇයව සිපගන්නා දර්ශනය මෙහිදී බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණි.

කෙසේ වුවත් කොරෝනා ආසාදිත වී රෝහලට ඇතුළත් කළ චීන කාන්තාවගේ ස්වරූපය සහ සුවවී රෝහලෙන් පිටවී ගිය චීන ජාතික කාන්තාවගේ ස්වරූපය අතර පරස්පරතාවක් පවතින බවට විවිධ සමාජ මාධ්‍ය ප්‍රකාශන ද පළවෙනු දක්නට ලැබුණි.

2020 වසරේ මාර්තු 09 වැනිදා කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා හඳුනාගත් බව මෙරට ජනමාධ්‍ය වාර්තා කළේය. 52 හැවිරිදි වියේ පසුවූ ජයන්ත රණසිංහ නමැති ඔහු කොළඹ, මත්තේගොඩ පදිංචිව සිටි අතර වෘත්තියෙන් ඉතාලි ජාතික සංචාරයකයින්ට මඟපෙන්වන්නෙකු බව අනාවරණය කෙරිණි. මෙම පළමු ආසාදිතයා පිළිබඳ වැඩි අවධානයක් මෙරට මාධ්‍ය මඟින් යොමුවූ අතර එතැන් පටන් ක්‍රමයෙන් මෙරටින් ආසාදිතයින් වාර්තා වීම ඇරඹුණි.

ජයන්ත රණසිංහ (ඡායාරූප හිමිකම: බීබීසී සිංහල වෙබ්අඩවිය)

කොරෝනා වසංගතය පිළිබඳ මෙරට මාධ්‍ය වාර්තාකරණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙරට පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තා කිරීම පෙන්වා දිය හැකිය. මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2020 මාර්තු 28 වැනිදා මෙසේ මියගොස් තිබූ අතර එම පුවත උණුසුම් පුවතක් හෙවත් Breaking News එකක් ලෙස මෙරට මාධ්‍ය වාර්තා කළේය.

2020 මාර්තු 28 වැනිදා ‘අද දෙරණ’ පුවත

මෙසේ දිනෙන් දින කොරෝනා වසංගතය පිළිබඳ පුවත් මෙරට මාධ්‍යවල අනිවාර්ය අංගයක් බවට පත්වූ බැවින් එම වාර්තාකරණයන් ආචාරධාර්මිකව සිදුකිරීම සඳහා නිර්දේශ මාලාවන් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඒ අනුව 2020 වසරේ අප්‍රේල් මාසයේ මෙම නිර්දේශ නිකුත් කළ අතර ඒවා පහත පරිදි වේ.

කෙසේ වෙතත් මෙම නිර්දේශ මත පදනම්ව මාධ්‍ය සිය වාර්තාකරණයන් සිදුකරන බවක් නිරීක්ෂණය නොවූ අතර මාධ්‍ය ආචාරධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කළ අවස්ථාවක් 2020 ඔක්තෝබර් 10 වැනිදා දක්නට ලැබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වීමේ පුවත මෙරට ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයෙනි. එම සිසුවිය ප්‍රතිකාර සඳහා යෑමට ගිලන් රථයකට නගින අවස්ථාවේ ඇය පසුපස කැමරා රැගෙන යමින් ඇයව අපහසුතාවට පත්වන ආකාරයේ වාර්තාකරණයක් මෙරට මාධ්‍ය මඟින් සිදුකළ අතර ඒ පිළිබඳ සමාජ විරෝධයක් ද ගොඩනැඟුණි.

හිරු TV පස්වරු 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2020-10-10

කෙසේ වෙතත් කොරෝනා වාර්තාකරණයේදී පෞද්ගලිකත්වයට හානිවන ලෙස සිදුකරණ වාර්තාකරණයන් වැළැක්වීමේ වැදගත්කම පෙන්වාදෙමින් එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මෙරට සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ අතර 2020 ඔක්තෝබර් 11 වැනිදා සිය අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබුණි.

මෙරට කොරෝනා මරණ වාර්තා කිරීමේ තවත් සුවිශේෂී සිදුවීමක් 2020 නොවැම්බර් 02 වැනිදා මෙරටින් වාර්තා විය. ඒ මෙරට 22 වැනි කොරෝනා ආසාදිත මරණය වාර්තා කිරීම ආශ්‍රිත තත්ත්වයයි. ඒ අනුව සියදිවි නසාගැනීම හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වීම නිසා එම මරණය මෙරට 22 වැනි කොරෝනා ආසාදිත මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය කළ දැනුම්දීම උපුටා දක්වමින් එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා එදින පෙරවරු 11.55 ට නිවේදනයක් නිකුත් කර තිබුණි. මේ පිළිබඳ මා පළකළ සමාජ මාධ්‍ය සටහන සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනය පහතින් දැක්වේ.

කෙසේ වෙතත් සියදිවි නසාගත් පුද්ගලයාගේ මරණය 22 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෘජු කෝවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඩ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බවත්, ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට මියයන රෝගීන් සෘජුවම කොරෝනා ආශ්‍රිත මරණ ලෙස සැලකෙන බව සහ සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වන විට සිදුකෙරෙන  PCR පරික්ෂණවල දී කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවන මරණ වක්‍ර කොරෝනා ආශ්‍රිත මරණ සේ සැලකෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් එම 22 වැනි මරණය කොරෝනා මරණයක් ලෙස නොසලකන බව එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වසංගත රෝග විද්‍යා අංශය උපුටා දක්වමින් 2020 නොවැම්බර් 02 වැනි දිනම පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසූ අතර ඒ අනුව එදින දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 21 ක් ලෙස සංශෝධනය කෙරිණි.

මේ අනුව මෙරට ජනමාධ්‍ය හා කොරෝනා වාර්තාකරණය පිළිබඳ සුවිශේෂී අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ අවධානය යොමුකළ හැකිය. මෙම තත්ත්ව ඔස්සේ යම් ප්‍රමිතිගත හා ආචාරධාර්මික වාර්තාකරණයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවිය යුතුව තිබුණ ද එවැනි සැලකිය යුතු තත්ත්වයක් මෙතෙක් දක්නට නොලැබීම කණගාටුවට කරුණකි. මේ සඳහා සියලු මාධ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් රජය සහ වෙනත් ආදාළ ආයතනවල ද මැදිහත්වීමෙන් යම් ක්‍රමවේදයක් සකස් කර එය විධිමත්ව ක්‍රියාවට නැංවීම වැදගත් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

 2,896 total views,  2 views today

Comments

comments