Daraz අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන ජනප්‍රිය සේවාවකි. කෙසේ වෙතත් පාරිභෝගිකයින් රවටමින් වංචා සහගතව මෙය ක්‍රියාත්මක වන බවට ඇතැම්හු චෝදනා නගති. ඒ පිළිබඳ අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අවස්ථා ද දක්නට ලැබේ. Daraz සැබැවින්ම පාරිභෝගිකයින් රවටනවාද? මාගේ හිතවතියක් මුහුණ පෑ අත්දැකීමක් ඇසුරින් ඒ සම්බන්ධයෙන් මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි.
Daraz සම්බන්ධයෙන් එම අත්දැකීමට මුහුණ පෑ මාගේ එම හිතවතිය Daraz ජංගම යෙදවුම ඔස්සේ මාලයක් ඇණවුම් කර නිවසට ගෙන්වාගෙන තිබුණි. කෙසේ වුවත් ඇයට ලැබී තිබුණේ ඇය ඇණවුම් කළ මෝස්තරයේ මාලය නොව වෙනස් මෝස්තරයක මාලයකි. භාණ්ඩය ලද විගස ඊට අදාළ මුදල, ගෙන්වා ගැනීමේ ගාස්තු ද සමග ගෙවා එය පරික්ෂා කර බැලීමේදී ඇණවුම් කළ මාලයත් ඇයට ලද මාලයත් අතර වෙනසක් නිරීක්ෂණය වූ බැවින් එය ආපසු යවා ගෙවූ මුදල යළි ලබා ගැනීමට ඇය තීරණය කර තිබුණි. ඇයට එවා තිබූ මාලය ඇය ඇණවුම් කළ මාලයට වඩා මිලෙන් අඩු එකක් බව භාණ්ඩය අලෙවිකළ ආයතනයේ ෆේස්බුක් පිටුව පරික්ෂා කිරීමෙන් ඇය තහවුරු කර ගෙන තිබේ.
එහිදී අදාළ මාලයේ විකුණුම්කරු සමග Daraz යෙදවුම ඔස්සේ Chat මාර්ගයෙන් සම්බන්ධ වීමෙන් ඇය තමාට සිදුවූ පාඩුව පිළිබඳ අදාළ ආයතනය දැනුවත් කර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ එය පරික්ෂා කර බැලීම සඳහා ඇයට ලැබුණු මාලයේ ඡායාරූපයක් යොමු කරන ලෙසයි. ඒ අනුව එහි ඡායාරූපයක් ඇය යොමු කළ ද ඉන් එම මාලය නිසි පරිදි පරික්ෂා කළ නොහැකි බව පවසා එහි වඩාත් පැහැදිලි ඡායාරූපයක් යොමු කරන ලෙස විකුණුම්කරු දැනුම් දී තිබුණි. අවස්ථා තුනකදී පමණ විවිධ ඡායාරූප යොමු කිරීමෙන් පසු අවසානයට යැවූ ඡායාරූපය ඔවුන් අපේක්ෂා කළ මට්ටමේ පැවති බැවින් මාලය යළි Daraz වෙත භාරදී මුදල් ලබාගැනීමට හැකි බව ඇයට දැනුම් දී තිබේ.
ඒ අනුව කොළඹ කොටුවේ පිහිටි භාණ්ඩ එක්රැස් කිරීමේ Daraz නියෝජිත ආයතනයක් වෙත (Daraz Collection Point) මාලය ගෙන ගොස් භාරදීමට ඇය ක්‍රියාකර තිබුණි. මෙහිදී සඳහන් කළ යුතු තවත් එක් කරුණක් වන්නේ ඇයට එවූ මාලය සමග ඇය ඇණවුම් නොකළ ලිප්ස්ටික් එකක් ද ඇයට Daraz වෙතින් එවා තිබීමයි. එය ඔවුන් වෙතින් ත්‍යාගයක් ලෙස ලබාදුන් දෙයක් ද එසේත් නොමැති නම් ඇණවුම් කළ මාලය වෙනුවට මිලෙන් අඩු මාලයක් එවා එය ප්‍රතිපූර්ණය කිරීමට ලබාදුන් දෙයක් ද යන්න විමසිය යුතුය. කෙසේ වෙතත් අදාළ මාලය සමග එම ලිප්ස්ටික් එකද ඇය Daraz වෙත භාරදීමට පියවර ගෙන තිබුණේ භාණ්ඩ නැවත භාරගැනීමේ Daraz ප්‍රතිපත්තියේ සඳහන් කොන්දේසි අනුවයි.
මාලය භාණ්ඩ භාරගැනීමේ ස්ථානයට (Daraz Collection Point) යළි භාරදීමෙන් දින 02 කට පසුව එය Daraz ආයතනයට (Warehouse) ලැබුණු බවට ජංගම යෙදවුම ඔස්සේ ඇය දැනුවත් වී තිබේ (භාණ්ඩයක් ආපසු භාරදීමට අදාළ විස්තර ජංගම යෙදවුමට ඇතුළත් කළ පසු ඒ පිළිබඳ යාවත්කාලීන වන සියලු ඉදිරි පියවර එය යෙදවුම මගින් අදාළ පාරිභෝගිකයාට දැනුම් දීම සිදුවේ). භාණ්ඩය යළි ලබාදීමෙන් සතියක් ගතවුව ද ඊට අදාළ මුදල තමාට යළි නොලැබීම සම්බන්ධයෙන් ජංගම යෙදවුම ඔස්සේ Chat මාර්ගයෙන් පාරිභෝගික සේවා නිලධාරියෙකුට දැනුම් දීමට ඇය කටයුතු කර තිබේ. එහි යම් ප්‍රමාදයක් සිදුවී ඇති බව පිළිගන්නා බවත් එම නිසා ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අදාළ පාරිභෝගික නිලධාරියා ඇයට දැනුම් දී ඇත.
ඉන්පසු ඊට පසුදින Daraz පාරිභෝගික සේවාවට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ ඇය යළි විමසා ඇතත් එහිදී පාරිභෝගික සේවා නිලධාරියෙකු ඇයට පවසා ඇත්තේ ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරක් ඇයට ලබාදීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් ඇය නැවතත් Chat මාර්ගයෙන් පාරිභෝගික සේවා නිලධාරියෙකුට ඒ පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ අදාළ පාරිභෝගික සේවා නිලධාරියා සඳහන් කර තිබුණේ දින 14 ක කාලයක් සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය සඳහා ගතවන බවයි. මේ අනුව සති 02 කට පමණ පසුව ද ඇය යළිත් ඒ පිළිබඳ විමසීමේදී කොරෝනා තත්ත්වය හේතුවෙන් එම කටයුතු සඳහා යොදවන සේවකයින් සංඛ්‍යාවේ අඩුවක් පවතින බැවින් යම් ප්‍රමාදයක් සිදුවන බව පාරිභෝගික සේවා නිලධාරියෙකු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් අවසානයේ එම මුදල ඇගේ බැංකු ගිණුමට යළි බැර කිරීමට Daraz ආයතනය පියවර ගත් බව ඇය සඳහන් කළාය.
ඇය මුහුණ පෑ මෙම සිදුවීමේදී ඇයට සිදුවූ පාඩුව ප්‍රතිපූර්ණය වන තෙක් අවශ්‍ය ක්‍රියාවලිය පිළිබඳ නිරන්තරයෙන් විමසමින් ක්‍රියා කිරීමට ඇය කටයුතු කර තිබුණි. එහෙත් Daraz වෙතින් භාණ්ඩ මිලදී ගන්නා සියලු පාරිභෝගිකයින් මෙම ක්‍රියාවලිය පිළිබඳ නිසි දැනුවත්කමක් හෝ ඒ පිළිබඳ අවබෝධයක් ඇතැයි සිතීම අපහසුය. විශේෂයෙන්ම Chat මාර්ගයෙන් පාරිභෝගික සේවා නිලධාරීන් සමග සම්බන්ධ වීමට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පවතින දැනුම අඩුවීම හෝ වෙනත් හේතු මත විශේෂයෙන් ග්‍රාමීය පාරිභෝගිකයින් විශාල පිරිසක් එසේ කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. එබැවින් Daraz වෙතින් වැරදීමකින් හෝ සිතාමතාම තමන්ට සිදුවූ පාඩුව විඳදරා ගැනීමට ඔවුහු පෙළඹෙති.
Daraz ආයතනය මෙසේ පාරිභෝගිකයින් නොමඟ යවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් නගන චෝදනා ද මෙහි දී බැහැර කළ නොහැකිය. එක් පුද්ගලයෙකු පසුගිය දිනයක ෆේස්බුක් ඔසසේ ඒ සම්බන්ධයෙන් පළකර තිබූ වීඩියෝවකට බොහෝ දෙනා අදහස් පළකර තිබුණි. සැබැවින්ම Daraz ආයතනය එසේ පාරිභෝගියකින් නොමඟ යැවීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට යොමුවිය යුතු වුවත් බොහෝදෙනා ඒ සඳහා යොමුවන්නේ ද යන්න ගැටලුවකි.
Daraz වෙතින් නිතිපතා භාණ්ඩ මිලදී ගන්නා ඇතැමුන් පවසන්නේ ඇණවුම් කළ භාණ්ඩය නොලැබුණේ නම් භාණ්ඩය ලද අවස්ථාවේම එය පරික්ෂා කර බලා භාණ්ඩය භාර ගැනීම ප්‍රතික්ෂේප කර භාණ්ඩය එවීමේ ගාස්තුව (Courier cost) පමණක් ගෙවිය හැකි බවයි. සිදුවන පාඩු වළක්වා ගැනීමට එය සුදුසු පිළියමක් බව දක්නට ලැබේ. කෙසේ වෙතත් භාණ්ඩ යළි භාරදීමේ ක්‍රියාවලිය හා පාරිභෝගික සේවා නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් තොරතුරු ලබාගැනීම වැනි කටයුතු කෙරෙහි නිසි අවබෝධයකින් හා දැනුවත්භාවයකින් පසුවීම ද වැදගත් බව මෙහිදී අවධාරණය කරමි. මාගේ හිතවතියක් මුහුණ පෑ අත්දැකීම සහ එහිදී ඇය කටයුතු කළ ආකාරය මෙහිදී වඩාත් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලද්දේ පාරිභෝගිකයින් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණෙනි.
මෙම සටහන තැබීමේ අරමුණ Daraz ආයතනය වංචා සහගතව ක්‍රියා කරන බව හෝ එසේ නැතැයි පැවසීම නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. Daraz වැනි සේවා මේ දිනවල පවතින කොරෝනා වැනි වසංගත තත්ත්ව හමුවේ ඉතා වැදගත්ය. එහෙත් විශේෂයෙන්ම වැදගත් වන්නේ Daraz හෝ එවැනි වෙනත් ආයතනයක් පාරිභෝගිකයින් රවටමින් කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීමයි. Online සේවාවල ස්වභාවය අනුව එහිදී යම් දුෂ්කරතා පවතින නමුත් නිසි නීතිමය ක්‍රියාපටිපාටියක් තුළ එවැනි ආයතනවලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය තත්ත්ව සැකසිය යුතු බව මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි අවස්ථා සඳහා නීති උපකාර ලැබීමට යොමුවීම ද යම් සංකීර්ණ ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් පාරිභෝගිකයින්ට එවැනි අවස්ථාවල සිදුවන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. අනාගතයේදී මෙවැනි සේවා ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වන බැවින් එහිදී පාරිභෝගිකයින් දුෂ්කරතාවලට සහ අයුක්තිසහගත තත්ත්වවලට බඳුන්වීම වැළැක්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව පැවසිය යුතුය.
Graphic: Business vector created by pikisuperstar – www.freepik.com
1,485 total views, 1 views today
උන් අමු හොරු. ඔඩර් කරපු බඩුවට හාත්පසින්ම හැඩයෙන් හා වර්ගයෙන් වෙනස් නමුත් ක්‍රියාකාරිත්වය එක සමාන දෙයක් එවලා තිබුනා. ආයෙමත් උන්ගෙන් ගන්නවාට වඩා හොදයි ඊ බේ හරහා හෝ අලි එක්ස්ප්‍රස් හරහා ගෙන්වන එක.
ඔබේ අත්දැකීමත් මෙහි බෙදාගැනීම ගැන ස්තූතියි