2

Iranga.net දැනුම මෙහෙවරට පස් වසරයි

Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර ඊයේ (30) දිනයට පස් වසරක් සපිරුණි. මා සරසවි අධ්‍යාපනය නිම කිරීමට වසරකට පෙර ඇරඹි මෙම වෙබ්අඩවිය සිංහලෙන් දැනුම සොයා අන්තර්ජාලයට පැමි‍ණෙන ග්‍රාහකයින් නිබඳව පැමිණෙන අවකාශයක් බවට මේ වන විට පත්ව තීබීම පිළිබඳ මම අතිශයින් සතුටු වෙමි. සිංහල භාෂාවෙන් ශාස්ත්‍රීය ප්‍රමිතියෙන් යුතුව දැනුම ලබාගැනීමට අන්තර්ජාලයේ පැවති අඩුව සපිරීමට Iranga.net වෙබ්අඩවියට හැකිවූ බව මාගේ විශ්වාසයයි.

සමාජ මාධ්‍ය අවකාශය තුළ නිරන්තරයෙන් විවිධ අදහස් හා දැනුම හුවමාරු වුව ද එම මාධ්‍යයේ පවතින ආකෘතිමය ස්වරූපය හේතුවෙන් එම කරුණු පසුව විධිමත්ව භාවිතයට ගැනීමට නොහැකි වී තිබේ. එසේම වගකීම් විරහිතව සහ ප්‍රමිතියෙන් යුතුව ඒවා ඉදිරිපත් නොවීම තුළ ශාස්ත්‍රීය කටයුත්තකට එම කරුණු භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. තව ද සෙවුම් යන්ත්‍ර මඟින් එම සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිසි පරිදි සෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ඒවාට ප්‍රවේශ වීම ද අපහසු කටයුත්තකි. මෙම තත්ත්වය සිංහල භාෂාව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් සියලු භාෂාවල සමාජ මාධ්‍ය අන්තර්ගතයන්ට ද පොදු තත්ත්වයකි.

අන්තර්ජාලයෙන් සිංහල භාෂාව ඔස්සේ දැනුම සොයා පැමිණීමේදී උද්ගත වන මෙම සියලු දුර්වලතාවලට සැපයිය හැකි ප්‍රමුඛ විසඳුමක් වන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු ශාස්ත්‍රීය දැනුම විධිමත්ව වෙබ්අඩවියකින් ඉදිරිපත් කිරීමයි. මූලාශ්‍ර දැක්වීම ඇතුළුව නිසි ශාස්ත්‍රීය මූලධර්ම අනුගමනය කිරීමෙන් ඒවා ඉදිරිපත් කිරීම මඟින් ග්‍රාහකයින්ට එම දැනුම පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟේ. එසේම අලුතින් ගොඩනඟන දැනුම ද එහිදී ඉදිරිපත් කිරීම තුළ යමක් ග්‍රන්ථයකින් ප්‍රකාශයට පත්වී පාඨකයින් අතට පත්වීමේදී ගතවන ප්‍රමාදය ද වළක්වා ගත හැකිවේ.

ඒ අනුව Iranga.net වෙබ්අඩවියේ අන්තර්ගතයන් සහ ආකෘතිය ගොඩනැඟී ඇත්තේ අන්තර්ජාලයෙන් දැනුම සොයා පීරන්නන්ගේ එම පවස සන්සිඳවීමේ මූලික අභිලාෂයෙනි. වසර 5 ක් තුළ එය අත්කර ගත් සාර්ථකත්වය ඒ පිළිබඳ දක්වන ස්තූති පූර්වක ප්‍රතිචාරවලින් පෙනීයයි. දැනුම සොයා පැමිණෙන ග්‍රාහකයින් අවම වශයෙන් 50 දෙනෙකු පමණ Iranga.net වෙත දෛනිකව පැමිණීමෙන් තහවුරු වන්නේ මෙවැනි දැනුම අවකාශයකට අන්තර්ජාලයේ පැවති කාලීන අවශ්‍යතාවයි.

එබැවින් 2015 වසරේ සිට වසර 5 ක් අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම ලබාදීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියටත් සිදුකරන බව නිහතමානීව සඳහන් කරමි. මා උගත් සහ වර්ධනය කරගත් දැනුම ඔස්සේ තවත් පිරිසකට ශාස්ත්‍රීය ඥානය ලබාදීමෙන් මා ලබන්නේ අපමණ සතුටකි. කිසිදු වාණිජ අරමුණකින් තොරව මා එය ඉටුකරන්නේ එය මාගේ යුතුකමක් සහ වගකීමක් ලෙස සලකන බැවින් බව අවසාන වශයෙන් ප්‍රකාශ කරමි.

ගතවූ වසර තුළ Iranga.net වෙත වැඩිම ග්‍රාහක පැමිණීමක් සටහන් වූ ලිපි සහ ප්‍රමුඛ පද

සම්පූර්ණ ලැයිස්තුව සඳහා මෙතැනින් පිවිසෙන්න.

 950 total views,  1 views today

Comments

comments