0

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “කවි ඇසිඩ්” ට ඇසිඩ් ප්‍රහාරයක්

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “කවි ඇසිඩ්” නම් ග්‍රන්ථය පිළිබඳව මෙසේ සටහනක් තැබීමට මා පෙළඹවූයේ එහි වූ එක්තරා පද පේළියක් පිළිබඳව මා තුළ ඇතිවූ අප්‍රසාදයයි. එය කවරක්ද යන්න පැවසීමට පෙර ඊට ප්‍රවේශයක් ලෙස මා මෙවැන්නක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

කවියෙක් වූ කලී යම් කිසි රටක සංස්කෘතියේ නිර්මිතයකි. නොඑසේනම් කවියෙක් උපත ලබන්නේ ඔහු හැදී වැඩුණ මහ පොළොවේත් ඔහු හුස්ම ගත් වාතලයේත් සුවඳින් ලබන්නාවූ පන්නරයෙනි. එබැවින් ඔහු පය ගසාගෙන සිටින එම පොළොවටත් ඔහු ආශ්වාස කරන අවට වාතලයටත් ඔහු සැබැවින්ම ණයගැතිය. තවද ඔහු උපත ලැබූ පසු ඔහුව සමාජීයව හා දේශපාලනික වශයෙන් පෝෂණය කළ මාතෘ භූමියටද ඔහු කෘතඥතා පූර්වක විය යුතුය. මක්නිසාද යත් එකී සමාජයීය හා දේශපාලනික විඥාණය ඔහු නොලද්දේ නම් කවියෙක් වීමට ඔහුට ඉඩකඩක් නොලැබෙන බැවිනි. එබැවින් කවියාට කිසි විටෙකත් මෙම කාරණා වලින් වියුක්තව තම කවිය හැසිරවීම කළ නොහැකි අතර ඔහු එසේ කරන්නේ නම් කවියෙක් ලෙස ඔහුව හැඳින්වීමටවත් සුදුසු නොවේ.

මා විසින් මෙකී පූර්විකාව ගෙනහැර දැක්වූයේ මා ඉහතින් සඳහන් කළ එම කාරණා හා කසුන්ගේ කවි ඇසිඩ් භූමිකාව තුළ මාගේ විශ්වාසය අනුව අසමපාත වීමක් දක්නට ලැබෙන බැවිනි. එම අසමපාත වීම නම් කවි ඇසිඩ් හි එන එක්තරා පදයක “නව ජීවන දෙමිනේ නිතින තව අතුරුදහන් මාතා” යනුවෙන් සඳහන් වීමයි. මෙම පදය කියවූ සැණින් අපගේ මතකයට නැගෙන්නේ අන් කවරක්වත් නොව අභිමානවත් අප මාතෘ භූමියේ ජාතික ගීය වන ශ්‍රී ලංකා මතා ගීතයේ එන “නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා…” යන පද පේළියයි. කවි ඇසිඩ් හි කසුන් විසින් සිදු කර ඇත්තේ එකී ජාතික ගීයේ එන පද මාලාවේ පදයක් වෙනස් කර එය සිය කවියක පදයක් ලෙස යොදාගෙන තිබීමයි. මෙය වූ කලී මාගේ මානයෙන් ගත් කල වැරදි පූර්වාදර්ශයක් මෙන්ම කවියෙකු විසින් නොකළ යුතු ක්‍රියාවක්ද සිදු කිරීමකි.

ඒ කෙසේද යත් ජාතික ගීය වැනි මුළු මහත් ජාතියේම ගෞරවාදරයට හා භක්තියට පාත්‍ර වන උතුම් ජාතික වස්තුවක් කෙළෙසීමට කවියෙකුට තබා එරටේ කිසිම පුරවැසියෙකුට අ‍යිතියක් නොමැත. කවියක් ලිවීමේ අර්ථයෙන් හෝ කවර අරමුණකින්වත් එසේ ජාතික වස්තූන් වලට අගෞරව වන ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් කිසිම හිමිකමක් නැත. නමුත් කවි ඇසිඩ් තුළ “පුච්චන්න නෙමෙයි පිච්චෙන්න” යන අර්ථයෙන්ම ජාතික වස්තුවක් වන ජාතික ගීයේ ගෞරවයද පිච්චී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළද මෙවැනි දේවල් සඳහා ප්‍රතිපාදන දක්වා තිබුණත් මෙය වූ කලී නීතියෙන් නිවැරදි කළ යුතු දෙයක් නොව හදවතින් හා බුද්ධියෙන් විමසා බලා නිවැරදි කර ගත යුතු දෙයකි.

කසුන්ගේ අනෙකුත් කවි පිළිබඳවවත් ඔහුගේ පෞද්ගලික දේශපාලනික අදහස් හා මත පිළිබඳවවත් මාගේ පුද්ගලික වෛරයක් හෝ ඔහුගේ චරිතය පිළිබඳව කිසිදු පුද්ගලික විවේචනයක් මා තුළ නොමැත. මාගේ විවේචනය ඇත්තේ ඔහුගේ මෙම එක් කවියක ඇති ජාතික ගීයේ පද පේළියක් වෙනස් කර සිදු කර ඇති දෙය සම්බන්ධයෙන් පමණි. කවියෙක් තුළ පෞද්ගලිකව තමාගේ රට පිළිබඳව හෝ අන් ඕනෑම දෙයක් පිළිබඳව මතයක් තිබිය හැක. නමුත් එය ඔහුගේ නිර්මාණයක් තුළ අන්තර්ගත කොට ජනගත කළ පසු ඒ පිළිබඳව තව දුරටත් අදහස් හා විවේචන සිදු කිරීම ඔහුට අයිති දෙයක් නොව එය රසිකයාට අයිති කාරණයකි. එබැවින් රසිකයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් මා මෙසේ කසුන්ට එල්ල කරනු ලබන්නා වූ ඇසිඩ් ප්‍රහාරය කසුන් මැදිහත් සිතින් දරා ගනු ඇතැයි සිතමි. කවියෙක් වූ කලී ගල් මෙන්ම මුල්ද විඳ දරා ගැනීමට ශක්තියක් ඇත්තෙක් විය යුතුය. එම ශක්තිය නියත වශයෙන්ම කසුන් සතු වන බව මම හදවතින්ම විශ්වාස කරමි.

(මෙම සටහන 2014 වසරේ දී මා විසින් සමාජ මාධ්‍ය අවකාශය තුළ තැබූ සටහනක් වන අතර එය බ්ලොග් අවකාශයේ මාගේ පාඨකයන් උදෙසා නැවත මෙසේ ඉදිරිපත් කළ යුතු යැයි සිතුවෙමි.)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 1,129 total views,  1 views today

Comments

comments