0

ලාංකේය සංස්කෘතිය දූෂ්‍ය කළ බවට එන්රික්ට පසු ඉරාජ්ට චෝදනා නැඟීම සාධාරණ ද?

  • February 18, 2016

පසුගිය වර්ෂයේ මෙරට පැවති එන්රික්ගේ ප්‍රසංගය හේතුවෙන් ලාංකේය සංස්කෘතිය පිළිබඳ ඇතිවූ සංවාදයේ උණුසුම නික්ම යන්නටත් පෙර එවැනිම ආකාරයේ සංස්කෘතිය පිළිබඳ සංවාදයක් යළිත් ඇතිවී තිබේ. ඒ ලාංකේය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කළ එක්තරා සංගීත රූප රචනාවක් හේතුවෙනි. එම සංගීත රූප රචනාව වන්නේ “මම සිල් බිඳගත්තේ” නැමති ගීතය සඳහා නිර්මාණය කළ ගීත රූප රචනාවයි. එහි මෙරටේ ජනප්‍රිය තරුණ නිළියක වන නදීෂා හේමමාලි විසින් එක්තරා රංගන ශිල්පියෙකු සමඟ උණුසුම් දෙතොල් සිප ගැනීමේ අතිසරාගී රංගනයක නිරත වන අතර මෙරට තුළ එන්රික්ගේ ප්‍රසංගයෙන් උත්කර්ෂයට නැංවුණු සංස්කෘතිය පිළිබඳ කතාබහ නැවතත් කරළියට ගෙන ඒමට සමත් වූයේ ලාංකේය සංස්කෘතියට පටහැණි යැයි පැවසෙන එම සරාගී රංගනයයි.

මෙකී ගීත රූප රචනාව පිළිබඳ බොහෝ පාර්ශව වෙතින් නැඟෙන්නා වූ චෝදනා නිසාම එය මෙම වර්ෂයේ ගතවූ මාස එක හමාරක පමණ කාලය තුළ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමිවූ ගීත රූප රචනාව බවටද පත්විය. එක් අතකින් එය ගීත නිර්මාණකරුවෙකු වශයෙන් ඉරාජ් වීරරත්න ලද සුවිශාල සාර්ථකත්වයකි. එසේම අනෙක් අතින් ලාංකේය නිළියන්ගේ සරාගී රැඟුම් නැරඹීම සඳහා ඇති ප්‍රේක්ෂක අවශ්‍යතාවයේ තරම කියාපාන්නාවූ සාධකයකි. කෙසේ වුවත් මෙම ගීතය නිර්මාණය කිරීමෙන් මෙහි නිර්මාණකරුවා නොසිතූ තරමේ ප්‍රසිද්ධියක් ගතවූ දින කිහිපය පුරා අත්පත් කර ගත්තේ සැබැවින්ම ලාංකේය ප්‍රේක්ෂකාගාරයට ඔහු විසින් ඉදිරිපත් කළ සංස්කෘතික විරෝධී කලා නිර්මාණයක් නිසා නොව ලාංකේය ප්‍රේක්ෂක අවිඥානයේ සැබෑ මතුපිට ඔහු විසින් ස්පර්ශ කළ බැවිනි. එනිසා මෙම නිර්මාණයට එල්ල වන්නා වූ ගල් මුල් දෙස අවධානය යොමු නොකර මෙමඟින් අවධානයට ලක්කළ යුතු ලාංකේය සමාජ සන්දර්භයේ අඳුරු පැතිකඩක් ද වේ.

ඒ අනුව ඉරාජ් වීරරත්නගේ මෙම ගීත රූප රචනාව තුළ මෙතෙක් මෙරට තුළ නිර්මාණය වූ ගීත රූප රචනා තුළ අන්තර්ගත නොවූ සරාගී දර්ශන ඇතුළත් වූ පමණින් එය වාරණය කළ යුතු ගීත රූප රචනාවක් ලෙස හංවඩු ගසනවාට වඩා අවධානයට ලක්කළ යුතු වන්නේ මෙම ගීත රූප රචනාව නැරඹීමට අන්තර්ජාලයේ YouTube වෙබ් අඩවිය වටා ප්‍රේක්ෂකයින් මිලියන ගණනින් එක්රැස් වූයේ මක් නිසාද යන්නයි. විශේෂයෙන්ම සංවෘත ලිංගික සංස්කෘතියක් සහිත රටක සමාජයකට විවෘත ලිංගික සංස්කෘතියක ලක්ෂණ ආරෝපණය කරන මෙවැනි නිර්මාණයක් මුදා හැරීම තුළ එම සමාජයේ ලිංගික චර්යාව පිළිබඳව ද එක්තරා සංඥාවක් සපයයි. එනම් කෙතරම් සංවෘත ලිංගික සංස්කෘතියක් පැවතියද සමාජය තුළ වර්ධනය වන ලිංගික ආශාව විවෘත ලිංගික සංස්කෘතියක් සහිත සමාජයක් හා සැසඳීමේදී දැකිය හැකි ලිංගික චර්යාව හා සාපේක්ෂව විශාල වෙනසක් නොමැති බවයි. එබැවින් ඉරාජ් වීරරත්නගේ මෙම මතභේදාත්මක උත්සාහය මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙන තරමේ සංස්කෘතික විරෝධී ක්‍රියාවක් ලෙස ඉස්මතු කිරීම කිසිසේත් සාධාරණ නොවන අතර එලෙස සිදුකිරීමට උත්සාහ කරන පාර්ශව වෙත පැවසිය යුතු කරුණ වන්නේ තවදුරටත් පුහු වික්ටෝරියානු සුචරිතවාදී අදහස්වල හිඳ අද්‍යතන ලාංකේය සංස්කෘතිය සම්බන්ධව අදහස් පළ කිරීම අර්ථ විරහිත කාරණාවක් වන බවයි.

එසේම මෙම ගීත රූප රචනාව මඟින් මෙරට සංස්කෘතිය දූෂ්‍ය වන බවට චෝදනා නඟන පිරිස් වෙත ප්‍රකාශ කළ යුතු තවත් කරුණක් වන්නේ මෙම සරාගී දර්ශන සහිත සිප ගැනීම් ඇතුළත් රූප රචනාව මෙරටේ ජාතික මට්ටමේ රූපවාහිනී නාලිකා විසින් විකාශය නොකළ බවයි. එනම් එකී සිපගැනීම් සහිත රූප රචනාව වෙනුවට එම දර්ශන සංස්කරණය කර සකස් කළ රූප රචනාවක් මෙරටේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන ලදි. ඒ සම්බන්ධව අදහස් දැක්වූ ඉරාජ් වීරරත්න පැවසුවේ අන්තර්ජාලය සඳහා එක් සංස්කරණයකුත් රූපවාහිනී නාලිකා සඳහා වෙනත් සංස්කරණයකුත් ආදී ලෙස සංස්කරණ ද්විත්වයක් ලෙස මෙම ගීත රූප රචනාව සකස් කළ බවයි. එනිසා පොදුවේ සියලු දෙනාටම නැරඹිය හැකි රූපවාහිනියෙන් සංස්කෘතික විරෝධී යැයි පවසන දර්ශන ඉදිරිපත් නොවූ අතර ඒවා නැරඹීමට අවශ්‍ය පිරිසට පමණක් අන්තර්ජාලය ඔස්සේ එම සරාගී දර්ශන සහිත රූප රචනාව නැරඹීමට අවකාශය සලසා දී තිබුණි. එසේනම් අන්තර්ජාලය ඔස්සේ මෙම ගීත රූප රචනාව නරඹන පිරිස හා අන්තර්ජාලය ඔස්සේ වෙනත් ලිංගික දර්ශන නරඹන පිරිස අතර වෙනසක් දැකිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් Google වෙබ් අඩවිය මඟින් Sex යන්න සොයා ලෝකයේ අන් සියලුම රටවල් අභිබවා වාර්තාවක් තැබුවේ අන් ජාතියක් නොව ලාංකිකයන් වන නිසාවෙනි. එබැවින් මෙම ගීත රූප රචනාව සහ අන්තර්ජාලය තුළ වාර්තාවක් තැබූ එම ලිංගික චර්යාව එක පෙළට තබා විග්‍රහ කිරීමේදී මෙම ගීත රූප රචනාව මඟින් මෙරට සංස්කෘතිය දූෂ්‍ය වන බවට චෝදනා නැඟීම පවා හාස්‍යජනකය.

ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ මෙම ගීත රූප රචනාව ඔස්සේ සිල් බිඳ ගත්තේ නදීෂා හේමමාලි හෝ ඉරාජ් වීරරත්න නොව මෙරටේ සංස්කෘතිය පිළිබඳ උදම් අනන ඊනියා සංස්කෘතිකවාදින් බවයි. එසේම මෙරටේ සංස්කෘතිය පිළිබඳ හඬ නඟන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි හැසිරීම එන්රික්ගේ ප්‍රසංගයට හා මෙම ගීත රූප රචනාවට පමණක් සීමා නොවූවා නම් මෙරට සංස්කෘතිය අද්‍යතනයේ පවත්නා තත්වයට වඩා බොහෝ වෙනස්වීමට ඉඩ තිබූ බවද ප්‍රකාශ කළ යුතුමය.

මතභේදයට ලක්වූ ගීත රූප රචනාව

 1,320 total views,  1 views today

Comments

comments